උත්පත්ති

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50


-Reset+

පරිච්ඡේදය 20

1 ආබ්‍රහම් එතැනින් දකුණු දේශයට ගමන්කර කාදෙෂ්ද ෂූර්ද අතරේ වාසය කෙළේය; ඔහු ගෙරාර්හිද පොරොත්තුවුණේය.
2 ආබ්‍රහම් තම භාර්යාවවූ සාරා ගැන: ඈ මගේ සහෝදරීයයි කීවේය. එවිට ගෙරාර්හි රජවූ අබිමෙලෙක් මිනිසුන් යවා සාරා ගෙන්වා ගත්තේය.
3 නුමුත් දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අබිමෙලෙක් වෙතට පැමිණ: බලව, ඔබ ගෙන්වාගත් ස්ත්‍රිය නිසා ඔබ මළ කෙනෙක්ය, මක්නිසාද ඈ මනුෂ්‍යයෙකුගේ භාර්යාවයයි ඔහුට කීසේක.
4 නුමුත් අබිමෙලෙක් ඈ කරා නොපැමිණ සිටියේය. ඔහු කියනුයේ: ස්වාමීන්වහන්ස, ඔබ ධර්මිෂ්ඨ ජාතියක් පවා නසනසේක්ද?
5 ඈ මාගේ සහෝදරීයයි ඔහුම මට නොකීයේද? ඈ පවා: ඔහු මාගේ සහෝදරයායයි කීවාය; මාගේ සිතේ අවංකකමින්ද මාගේ අත්වල නිදොස්කමෙන්ද මේක කෙළෙමියි කීවේය.
6 දෙවියන්වහන්සේ ස්වප්නයෙන් ඔහුට කථාකොට: එසේය, ඔබේ සිතේ අවංකකමින් මේක කළ බව දනිමි, මට විරුද්ධව පව්කිරීමෙන් ඔබ වැළැක්කුවේ මමය. එබැවින් ඈට ස්පර්ශකරන්ට ඔබට ඉඩනෑරියෙමි.
7 එහෙයින් දැන් ඒ මනුෂ්‍යයාගේ භාර්යාව ආපසු දෙන්න; මක්නිසාද ඔහු අනාගතවක්තෘ කෙනෙක්ය, ඔහු ඔබ ජීවත්වෙන පිණිස ඔබ උදෙසා යාච්ඤා කරන්නේය. එහෙත් ඈ ආපසු නොදෙන්නෙහි නම් ඔබද ඔබ සන්තක සියල්ලන්ද ඒකාන්තයෙන් නසින බව දැනගන්නැයි කීසේක.
8 අබිමෙලෙක් අලුයම් වේලෙහි නැගිට තමාගේ සියලු මෙහෙකරුවන් කැඳවා මේ සියල්ල ඔවුන් ඉදිරියෙහි කීවේය. ඒ මනුෂ්‍යයෝ බොහෝසෙයින් භයවුණෝය.
9 එකල අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා ඔහුට කථාකොට: ඔබ අපට කළේ මොකද? මා සහ මාගේ රාජ්‍යය කෙරෙහි ඔබ මහත් පාපයක් පැමිණෙවුවේ මා විසින් ඔබට විරුද්ධව කුමන පාපයක් කළ නිසාද? ඔබ මට නොකටයුතු ක්‍රියාවල් කෙළෙහියයි කීය.
10 තවද අබිමෙලෙක්: ඔබ මේ දෙය කළේ කුමක් දුටු නිසාදැයි ආබ්‍රහම්ට කීය.
11 ආබ්‍රහම්: සැබවින්ම මේ ස්ථානයෙහි දේව භය නැත්තේය කියාත් ඔවුන් මාගේ භාර්යාව නිසා මා මරනවා ඇත කියාත් මට සිතුණු නිසාය.
12 ඇරත් ඈ ඇත්තෙන්ම මාගේ සහෝදරීය, මාගේ පියාගේ දුවය; නුමුත් මාගේ මවුගේ දුව නොවේය; ඈ මාගේ භාර්යාව වූවාය.
13 තවද දෙවියන්වහන්සේ මාගේ පියාගේ ගෙයින් යන්ට මට සැලැස්සූ කල මම ඈට කථාකර: ඔබ මට පෙන්විය යුතු කරුණාව මේය, අප පැමිණෙන්නාවූ සියලු තැන්හිදීම-ඔහු මාගේ සහෝදරයායයි මා ගැන කියන්නැයි කීමියි කීයේය.
14 අබිමෙලෙක් බැටළුවන්ද ගවයන්ද දාසයන්ද දාසීන්ද රැගෙන ආබ්‍රහම්ට දී ඔහුගේ භාර්යාවවූ සාරාද ඔහුට ආපසු දුන්නේය.
15 අබිමෙලෙක්: බලව, මාගේ දේශය ඔබ ඉදිරියෙහිය, කැමති තැනක වාසය කරන්නැයි කීවේය.
16 ඔහු සාරාට කථාකොට: බලව, මම ඔබේ සහෝදරයාට රිදී දහසක් දුනිමි. එය ඔබ සමඟ සිටින සියල්ලන් ඉදිරියෙහි ඔබට ඇස් වැස්මක් පිණිසය; සියල්ලන් ඉදිරියෙහි ඔබට යුක්තිය සිදුකරනලද්දේයයි කීවේය.
17 ආබ්‍රහම් දෙවියන්වහන්සේට යාච්ඤාකෙළේය. දෙවියන්වහන්සේ අබිමෙලෙක් සහ ඔහුගේ භාර්යාවද ඔහුගේ දාසීන්ද සුවපත් කළසේක; එවිට ඔව්හු දරුවන් බිහිකළෝය.
18 මක්නිසාද ස්වාමීන්වහන්සේ විසින් ආබ්‍රහම්ගේ භාර්යාවවූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෙයි සියල්ලන්ගේ ගර්භ තදින් පියා තිබුණේය.