1 සාමුවෙල්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31


-Reset+

පරිච්ඡේදය 11

1 එවිට අම්මොනිය නාහාෂ් ඇවිත් යාබෙෂ්-ගිලියද්ට විරුද්ධව කඳවුරු බැන්දේය. යාබෙෂ්හි සියලු මනුෂ්‍යයෝ: අප සමඟ ගිවිසුමක් කළ මැනවි, එවිට අපි ඔබට මෙහෙකරන්නෙමුයයි නාහාෂ්ට කීවෝය.
2 අම්මොනිය නාහාෂ්ද: ඔබ සැම සියල්ලන්ගේ දකුණු ඇස් උගුලාදමා, එයින් සියලු ඉශ්‍රායෙල්වරුන් පිටට නින්දාවක් පමුණුවන්ට මට ඉඩදුන්නොත්, ඔබ සැම සමඟ ගිවිසුමක් කරන්නෙමියි ඔවුන්ට කීවේය.
3 යාබෙෂ්හි වැඩිමහල්ලෝද: අප විසින් සියලු ඉශ්‍රායෙල් පළාත්වලට පණිවිඩකාරයන් යවන පිණිස අපට සත් දවසක් කල් දුනමැනවි. එවිට අප ගළවන්ට කිසිවෙක් නැත්නම් ඔබ වෙතට පිටතට එන්නෙමුයයි ඔහුට කීවෝය.
4 එකල පණිවිඩකාරයෝ සාවුල් සිටි ගිබියාට ඇවිත් ඒ කාරණා සෙනඟ ඉදිරියෙහි කීවෝය. මුළු සෙනඟ ශබ්දනගා ඇඬූහ.
5 ඒ වේලාවට සාවුල් කෙතේ සිට හරකුන් පස්සෙන් ආවේය. තවද: සෙනඟ අඬන්නේ කුමන කාරණයක් නිසාදැයි සාවුල් ඇසුවේය. ඔව්හු යාබෙෂ්හි මනුෂ්‍යයන්ගේ වචන ඔහුට දැන්නුවෝය.
6 සාවුල් මේ වචන ඇසූ විට දෙවියන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ කෝපයද අතිශයින් ඇවුළුණේය.
7 ඔහු ගොන් බානක් ගෙන උන් කෑලිවලට කපා: සාවුල්ද සාමුවෙල්ද පස්සේ පිටත්ව නොඑන යමෙක් ඇද්ද ඔහුගේ හරකුන්ට මෙසේම කරනු ලැබේය කියා ඒවා පණිවිඩකාරයන් අත ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට හැරියේය. සෙනඟ පිටට ස්වාමීන්වහන්සේගෙන් භීතියක් පහළවී ඔව්හු එක්කෙනෙකු මෙන් පිටත්ව ආවෝය.
8 ඔහු බෙශෙක්හිදී ඔවුන් ගණන්කෙළේය; ඉශ්‍රායෙල් පුත්‍රයන් තුන් ලක්ෂයක්ද යුදා මනුෂ්‍යයන් තිස්දාහක්ද සිටියෝය.
9 එවිට ආවාවූ පණිවිඩකාරයන්ට ඔව්හු කථාකොට: හෙට අව්ව තදවෙන වේලාවට ඔබ සැමට ගැළවීම ලැබේය කියා යාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන්ට කියන්නැයි කීවෝය. පණිවිඩකාරයෝ ගොස් යාබෙෂ්හි මනුෂ්‍යයන්ට දැන්නුවෝය; ඔව්හුද ප්‍රීතිවුණෝය,
10 එබැවින් යාබෙෂ්හි මනුෂ්‍යයෝ: හෙට අපි ඔබ සැම ළඟට එන්නෙමුව, එවිට ඔබ සැමට හොඳව පෙනෙන සියල්ලේ හැටියට අපට කරන්ට ඔබ සැමට පුළුවනැයි කීවෝය.
11 පසුවදා සාවුල් සෙනඟ කණ්ඩායම් තුනකට බෙදුවේය; ඔව්හු එළිවන සාමයෙහි අම්මොනිවරුන්ගේ කඳවුර මැදට පැමිණ ඉර මුදුන් වේලාව දක්වා අම්මොනිවරුන්ට පහර දුන්නෝය. තවද දෙදෙනෙක් එක තැනක නොසිටින හැටියට ඉතිරිවුණ අය විසුරුවනු ලැබූහ.
12 සෙනඟ සාමුවෙල්ට කථාකොට: සාවුල් අප කෙරෙහි රජකම්කරන්ටදැයි කීවේ කවුද? ඒ මනුෂ්‍යයන් මරණ පිණිස ඔවුන් ගෙනෙන්නැයි කීවෝය.
13 සාවුල්ද: අද දවසේ කිසිවෙක් මරණයට පත්කරනු නොලැබේ. මක්නිසාද ස්වාමීන්වහන්සේ අද ඉශ්‍රායෙල්හි ගැළවීමක් ඉෂ්ටකළසේකැයි කීවේය.
14 එවිට සාමුවෙල් සෙනඟට කථාකොට: එන්න, අපි ගිල්ගාල්ට ගොස් එහිදී රජකම නැවත ස්ථිරකරගනිමුයයි කීවේය.
15 මුළු සෙනඟද ගිල්ගාල්ට ගොස් එහි ස්වාමීන්වහන්සේ ඉදිරියේදී සාවුල් රජකමට පත්කොට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාන්ති පූජා ඔප්පුකළෝය; එහි සාවුල්ද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද බොහෝසෙයින් ප්‍රීතිවූවෝය.