යෝබ්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42


-Reset+

පරිච්ඡේදය 16

1 එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2 එබඳු බොහෝ දේ මා විසින් අසා තිබේ. ඔබ සැම සියල්ලෝම දුක්දෙන සැනසිලිකාරයෝය.
3 සුළඟ වැනි වචනවල කෙළවරක් ඇද්ද? නොහොත් උත්තරදීමට ඔබ පොළඹවන්නේ කුමක්ද?
4 මටත් ඔබ සැම වාගේ කථාකරන්ට පුළුවන; මා සිටින ස්වභාවෙහි ඔබ සැම සිටියොත්, ඔබ සැමට විරුද්ධව වචන ගොතා, ඔබ සැම දෙසට මාගේ හිස වනන්ට මට පුළුවන.
5 එහෙත් මාගේ මුඛයෙන් ඔබ සැම ශක්තිමත්කර, මාගේ තොල්වල සැනසිල්ලෙන් ඔබ සැම උසුලන්නෙමි.
6 මා කථාකරන නුමුත් මාගේ ශෝකය නොසන්සිඳෙයි. කථා නොකර උන්නත් මට ලැබෙන පහසුව කිමෙක්ද?
7 සැබවින්ම උන්වහන්සේ මා වෙහෙසූසේක; ඔබවහන්සේ මාගේ මුළු සමාගම පාළු කළසේක.
8 ඔබ මා අල්ලාගත්සේක, ඒක මට විරුද්ධව සාක්ෂියක්ය. මාගේ කෙට්ටුකම මට විරුද්ධව නැගිටියි, ඒක මාගේ මුහුණ ඉදිරියෙහි සාක්ෂිදෙයි.
9 උන්වහන්සේ තමන් කෝපයෙන් මා ඉරා දමා මට ද්වේෂකළසේක; උන්වහන්සේ මට විරුද්ධව දත්මිටි කෑසේක. මාගේ එදිරිකාරයා මා දෙසට තමාගේ ඇස් යොමුකරන්නේය.
10 ඔව්හු මට විරුද්ධව තමුන්ගේ කට අයා, නින්දාකරමින් මාගේ කම්මුලට ගැසුවෝය. ඔව්හු එක්ව මට විරුද්ධව සම්බන්ධ වෙති.
11 දෙවියන්වහන්සේ අභක්තිකයාට මා පාවාදෙනසේක; දුෂ්ටයන්ගේ අත්වලට මා විසිකරනසේක.
12 මම සුවසේ සිටියෙමි, උන්වහන්සේ මා පොඩිකළසේක; මාගේ බෙල්ල අල්ලා, මා බිමගසා සුන්කර, ඉලක්කයක් කොට මා තබාගත්සේක.
13 උන්වහන්සේගේ දුනුවායෝ මා වටකරගන සිටිති, උන්වහන්සේ කරුණා නොකර, මාගේ වකුගඩු පළා, මාගේ පිත බිම වගුරුවනසේක.
14 උන්වහන්සේ බිඳුම් පිට බිඳුම් කොට, මා පොඩිකරනසේක; යුද්ධකාරයෙකු මෙන් මට විරුද්ධව දුව එනසේක.
15 ගෝණි රෙදි මාගේ හම පිට මහගන, මාගේ ඇඟ දූවිල්ලෙහි දමාගන සිටිමි.
16 මාගේ මුහුණ ඇඬීමෙන් රතුවී තිබේ, මාගේ ඇසිපිය පිටද මරණයේ සෙවණ තිබේ.
17 කිසි බලාත්කාරකමක් මාගේ අත්වල නැති නුමුත්, මාගේ යාච්ඤාව පිරිසිදු නුමුත්, මට එසේ වී තිබේ.
18 එම්බා පොළොව, මාගේ ලේ වසා නොගන්න, නැවතීමේ ඉඩමක්ද මාගේ මොරගැසීමට නොතිබේවා.
19 දැන් පවා මාගේ සාක්ෂිය ස්වර්ගයෙහිය; මාගේ සාක්ෂිකාරයාද උසස්ථානයෙහි සිටියි.
20 මාගේ යහළුවෝ මට නින්දාකෙරෙති. මාගේ ඇස දෙවියන්වහන්සේ දෙසට කඳුළු වගුරුවයි.
21 එසේ කරන්නේ මනුෂ්‍ය පුත්‍රයෙක් තවත් මනුෂ්‍යයෙකුට යුක්තිය කරන්නාක්මෙන් දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි මනුෂ්‍යයෙකුට යුක්තිය කරන පිණිසය.
22 මක්නිසාද අවුරුදු ස්වල්පයකට පසු, මම ආපසු නොඑන මාවතෙහි යන්නෙමි.