යෝබ්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42


-Reset+

පරිච්ඡේදය 31

1 මාගේ ඇස් සමඟ ගිවිසුමක් කෙළෙමි; එබැවින් කන්‍යාවක් දෙස බලන්නේ කොහොමද?
2 ඉහළ සිටින දෙවියන්වහන්සේගෙන් ලැබෙන කොටසත් උසස් තැන්හි සිටින සර්වපරාක්‍රමයාණන්ගෙන් ලැබෙන උරුමයත් කිමෙක්ද?
3 අධර්මිෂ්ඨයාට විනාශයත් අයුතුකම්කරන්නන්ට විපත්තියත් නොවේද?
4 උන්වහන්සේ මාගේ මාර්ග දැක, මාගේ සෑම අඩි ගණන්කරනවා නොවේද?
5 මා බොරුකාරකමෙන් හැසිරෙන්ටත් මාගේ පය වංචාවට ඉක්මන්වෙන්ටත් යෙදුණා නම්,
6 (උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නමැති තරාදියෙන් මා කිරාබලනසේක්වා, එවිට දෙවියන්වහන්සේ මාගේ අවංකකම දැනගන්නවා ඇත;)
7 මාගේ අඩිය මාර්ගයෙන් අහක්ව යන්ටත්, මාගේ සිත මාගේ ඇස් අනුව යන්ටත්, මාගේ අත්වලට කිසි කිලුටක් ඇලෙන්ටත් යෙදුණා නම්,
8 මා වපුරන ඒවා වෙන කෙනෙක් අනුභව කෙරේවා; එසේය, මාගේ කෙතේ අස්වැන්න උදුරාදමනු ලැබේවා.
9 මාගේ සිත ස්ත්‍රියෙක් කෙරෙහි ඇදීගියේ නම්, මම මාගේ අසල්වාසියාගේ දොරකඩ ළඟ රැක සිටියෙම් නම්,
10 මාගේ භාර්යාව වෙන කෙනෙකුට ධාන්‍ය අඹරාවා, අන්‍යයෝද ඈ සමඟ සයනයකෙරෙත්වා.
11 මක්නිසාද එය දූෂ්‍ය අපරාධයක්ය; එසේය, එය විනිශ්චයකාරයන් විසින් දඬුවම්කළ යුතුවූ අයුතුකමක්ය.
12 එය විනාශය දක්වාම දවන ගින්නක්ය, එයින් මාගේ මුළු සම්පත උදුරාදමනු ලබන්නේය.
13 මාගේ වැඩකාරයාවත් වැඩකාරීවත් මා සමඟ විවාදකරන විට මම ඔවුන්ගේ යුක්තිය නොසලකා ඇරියෙම්නම්,
14 දෙවියන්වහන්සේ නැගිටින විට මම කුමක් කරම්ද? උන්වහන්සේ විභාගකරන කල මා කවර උත්තරයක් දෙන්ටද?
15 කුසෙහි මා සෑදූ උන්වහන්සේ ඔහුත් නොසෑදූසේක්ද? ගර්භයෙහි අප තැනුවේ එක්කෙනෙක්ම නොවේද?
16 (පියා නැත්තා මාගේ බාල වයසේ පටන් පිය කෙනෙකු ළඟ මෙන් මා ළඟ ඇතිකළාවූද මාගේ මවු කුස පටන් වැන්දඹුවට ආධාරවුණාවූද මම)
17 දුප්පතුන් ආශාවූ දේ ඔවුන්ගෙන් වැලැක්වීම් නම්, නොහොත් වැන්දඹුවගේ ඇස් ක්ෂය වෙන්ට සැලැස්වීම් නම්,
18 පියා නැත්තාට මාගේ කොටසෙන් කන්ට නොදී තනියම ඒක කෑවෙම් නම්,
19 යමෙක් වස්ත්‍ර නැතිකමින් නසින බවත් දිළින්දාට වැස්මක් නැති බවත් මා දුටු විට,
20 මට ආශීර්වාදකරන හැටියට ඔහුගේ ඉඟටිය මාගේ බැටළු ලොම්වලින් උණුහුම් නොවී නම්,
21 මාගේ උපකාරකාරයෙක් දොරටුවේ සිටිනවා මා දුටු නිසා පියා නැත්තාට විරුද්ධව මාගේ අත එසවීම් නම්,
22 මාගේ උරහිස ඒකේ සන්ධිස්ථානයෙන් ගැළවී වැටේවා, මාගේ හස්තය ඒකේ වැලමිටේන් බිදීයේවා.
23 මක්නිසාද දෙවියන්වහන්සේගෙන් පැමිණෙන විනාශය මට භීතියක් විය, උන්වහන්සේගේ මහන්තත්ත්වය ඉදිරියෙහිද මට කිසිවක් කළ නොහැකිවිය.
24 මම රත්රන් මාගේ බලාපොරොත්තුව කොට ගතිම් නම්, ඔබ මාගේ විශ්වාසයයයි පවිත්‍ර රනට කීයෙම් නම්,
25 මාගේ සම්පත වැඩි නිසාත් මාගේ අත හුඟක් සම්බකරගත් නිසාත් ප්‍රීතිවීම් නම්,
26 ඉර බැබළෙන හැටිද හඳ දීප්තිමත්ව ගමන්කරන බවද මා දුටු විට
27 මාගේ සිත රහසින් පෙලඹී, මාගේ මුඛය මාගේ අත සිඹගත්තේ නම්,
28 ඉහළ සිටින දෙවියන්වහන්සේ මා විසින් එපාකළ නිසා, ඒකත් විනිශ්චයකාරයන් විසින් දඬුවම්කළ යුතු අපරාධයක්ය.
29 මට වෛරවූ අයට පැමිණි විනාශයට මම සන්තෝෂවී, ඔහු විපත්තියට අසුවූ විට ප්‍රීතිවීම්නම්,
30 (එසේය, ඔහුගේ ජීවිතයට විරුද්ධව දෙස් කීමෙන් මාගේ මුඛයට පව්කරන්ට ඉඩනෑරියෙමි;)
31 ඔහුගේ කෑමෙන් තෘප්තිමත් නොවූ කෙනෙක් පෙන්වන්නේ කවුදැයි මාගේ කූඩාරමේ මනුෂ්‍යයෝ නොකීවෝ නම්,
32 අමුත්තා රාත්‍රිය එළියේ පසු නොකළේය; ගමන්කාරයාට මාගේ දොරවල් ඇරියෙමි;
33 මාගේ අයුතුකම මාගේ ළයේ සඟවා ගනිමින් මනුෂ්‍ය අන්දමින් මාගේ අපරාධ වැසීම් නම්,
34 මහත් සමූහයාට මා භයවූ නිසාත්, පවුල්වල හෙළාදැක්ම මා කැලඹූ නිසාත්, මා නිශ්ශබ්දව සිටි ගෙයින් පිට නොගියෙම් නම් -
35 අහෝ, මාගේ බස් අසන කෙනෙක් මට ඇත්නම්! (මෙන්න, මාගේ අත්සන තබමි, සර්වපරාක්‍රමයාණෝ මට උත්තරදෙනසේක්වා;) මාගේ එදිරිකාරයා මට විරුද්ධව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!
36 සැබැවින් ඒක මාගේ කර පිට තබා ගන්නෙමි; ඔටුන්නක් මෙන් බැඳගන්නෙමි.
37 මාගේ අඩිවල ගණන උන්වහන්සේට කියා සිටින්නෙමි; අධිපතියෙකු මෙන් උන්වහන්සේ ළඟට යන්නෙමි.
38 මාගේ බිම මට විරුද්ධව කෑගසා නම්, එහි සියලු හීවිටි අඬා පැමිණිලි කෙරේනම්,
39 මම මිල නොදී ඒකේ අස්වැන්න කා, ඒකේ අයිතිකාරයන්ගේ ප්‍රාණ හානි කෙළෙම් නම්,
40 තිරිඟු වෙනුවට කටුගස්ද යව වෙනුවට වල්ගස්ද වැවේවායි කීවේය. යෝබ්ගේ වචන නිමි.