යෝබ්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42


-Reset+

පරිච්ඡේදය 39

1 පර්වතවල වල් එළුවන් බිහිකරන කාලය ඔබ දන්නවාද? නොහොත් මුවදෙනුන් විළිරුදා විඳින වේලාව ඔබට දැනගන්ට පුළුවන්ද?
2 උන්ට සම්පූර්ණවන මාස ගණන් කරන්ට ඔබට පුළුවන්ද? උන් බිහිකරන කාලය ඔබ දන්නවාද?
3 උන් නැමී උන්ගේ පැටවුන් බිහිකර උන්ගේ රුදා පහකරගනිති.
4 උන්ගේ පැටව් ලොකුවී, එළියෙහි වැඩී, පිටත්ව ගොස් නෑවිත් සිටිති.
5 වල් කොටළුවා නිදහස්කර හැරියේ කවුද? නොහොත් වල් කොටළුවාගේ බැඳුම් මිදුවේ කවුද?
6 මම කාන්තාරය උගේ ගෙයද ලුණු භූමිය උගේ වාසස්ථානයද කොට නියමකෙළෙමි.
7 ඌ නගරයේ ඝෝෂාවට සිනාසෙයි, දක්කන්නාගේ මොරගැසීම් ඌට නෑසෙයි.
8 කඳුකර පළාත උගේ ගොදුරු බිමය, ඌ සෑම අමු දේ සොයයි.
9 කුළුහරකා ඔබට වැඩකරන්ට කැමතිවේද? ඌ ඔබේ ගාලේ ලගිනවා ඇද්ද?
10 කුළුහරකා ලනුවකින් හීවිටේ බඳින්ට ඔබට පුළුවන්ද? නොහොත් ඌ ඔබ පස්සේ මිටියාවත් පෝරුගානවා ඇද්ද?
11 උගේ ශක්තිය මහත් බැවින් ඔබ ඌ විශ්වාසකර, ඔබේ වැඩ ඌට භාරදෙන්නෙහිද?
12 ඌ ඔබේ අස්වැන්න ගෙනැවිත් ඔබේ පාවරට එකතුකරනවා ඇත කියා ඔබ ඌ කෙරෙහි විශ්වාසය තබන්නෙහිද?
13 පැස්බරාගේ පියාපත් ප්‍රීතිමත්ලෙස වැනෙයි, නුමුත් ඒ පියාපත් හා පිහාටු කරුණාවත්ද?
14 නැත, ඌ උගේ බිජු බිම දමා, ධූලියෙහි උණුසුම්කර,
15 ඒවා පයට පෑගෙන්ටත් වල් සතුන්ට පොඩිවෙන්ටත් පුළුවන් බව මතකනැතිකරන්නේය.
16 උගේ පැටවුන් ඌට අයිති නැතුවාක් මෙන් ඌ උන්ට තදකම් පාන්නේය. උගේ මහන්සිය නිෂ්ඵල නුමුත් ඊට උගේ සැලකිල්ලක් නැත;
17 මක්නිසාද දෙවියන්වහන්සේ උගෙන් ප්‍රඥාව වලක්වා, ඌට නුවණ නොදී ඇරියසේක.
18 ඌ පියාපත් උස්සා ගසාගන යන කල, ඌ අශ්වයාටත් අසරුවාටත් සිනාසෙන්නේය.
19 ඔබ අශ්වයාට වෙර දුන්නෙහිද? ‍ලෙළදෙන කෙඳිවලින් උගේ බෙල්ල පැළදෙවුවෙහිද?
20 ඌට පළඟැටියෙකු මෙන් පනින්ට සැලැස්සුවෙහිද? උගේ හේෂාවරයේ බලවත්කම භයංකරය.
21 ඌ මිටියාවතෙහි කුරගසා, ශක්තිය නිසා ප්‍රීතිමත්වී, යුද්ධායුධවලට මූණපාන්ට යන්නේය.
22 ඌ භයට සරදම්කොට තැති නොගෙන සිටින්නේය; කඩුවටද පිටු නොපාන්නේය.
23 ඊකොපුවද දිලියෙන හෙල්ලයද කුඩා හෙල්ලයද ඌට වැදී ශබ්ද නගින්නේය.
24 සැරකමෙන්ද කෝපයෙන්ද ඌ වේගයෙන් පැනයන්නේය; ඇසෙන්නේ හොරණෑ ශබ්දය බව ඌ විශ්වාස නොකර,
25 ඇසෙන එක එක හොරණෑ ශබ්දයට ඌ: අහා! කියමින්, දුරදීම සටනටද සේනාපතීන්ගේ ගර්ජනාව හා ඝෝෂාවටද ඉව අල්ලයි.
26 උකුස්සා ඉහළ නැගී දකුණු දිශාව දෙසට උගේ පියාපත් විදහන්නේ ඔබේ නුවණින්ද?
27 නොහොත් රාජාලියා උඩට ඉගිලී උගේ කැදැල්ල උස් තැන සාදන්නේ ඔබේ අණටද?
28 ඌ පර්වතය පිට වාසයකරන්නේය, පර්වතයේද පර්වත කූටයේද වසන්නේය.
29 එතැන සිට ඌ ගොදුරු සොයන්නේය; දුරදීම උගේ ඇස්වලට පෙනෙන්නේය.
30 උගේ පැටව්ද ලේ උරා බොති. මළකඳන් ඇති තැනම ඌ සිටින්නේයයි කීසේක.