ගීතාවලිය

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150


-Reset+

ගීතාවලිය 34

1 සෑම කල්හිම ස්වාමීන්ට ප්‍රශංසා කරමි. උන්වහන්සේගේ වර්ණනාව මාගේ මුඛයෙහි නිතරම පවත්නේය.
2 මාගේ ආත්මය ස්වාමීන්ගේ ගුණ වර්ණනාකරන්නේය. යටහත් සිත් ඇත්තෝ ඒ අසා සන්තෝෂවන්නෝය.
3 මා සමඟ ස්වාමීන් වර්ණනාකරව්, අපි එක්ව උන්වහන්සේගේ නාමය උසස්කරමු.
4 ස්වාමීන් සෙවීමි, උන්වහන්සේ මට උත්තරදී, මාගේ සියලු භයින් මා මිදූසේක.
5 ඔව්හු උන්වහන්සේ දෙස බලා එළිය ලැබුවෝය. ඔවුන්ගේ මුහුණු කිසි කලකත් ලජ්ජා නොවන්නේය.
6 මේ දුප්පතා මොරගැසුවේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ බස් අසා, ඔහුගේ සියලු දුක්වලින් ඔහු ගැළවූසේක.
7 ස්වාමීන්ගේ දූතයා උන්වහන්සේට භය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ, ඔවුන් මුදාහරියි.
8 ස්වාමීන් යහපත් බව රස බලා දැනගනිව්. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
9 ස්වාමීන්ගේ ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට භයවව්. මක්නිසාද උන්වහන්සේට භයවන්නන්ට කිසි හිඟයක් නැත.
10 තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විඳිති. නුමුත් ස්වාමීන් සොයන්නන්ට කිසි යහපත් දෙයකින් හිඟයක් නොවන්නේය.
11 දරුවෙනි, එව්, මට කන්දෙව්. ස්වාමීන් කෙරෙහි භයවීම ඔබ සැමට උගන්වන්නෙමි.
12 ජීවිතයට කැමතිවූ, යහපත දක්නා පිණිස බොහෝ දවස් වලට ප්‍රියවූ මනුෂ්‍යයා කවරේද?
13 ඔබේ දිව නපුරෙන්ද ඔබේ තොල් වංචා කථාවෙන්ද වලකාගනුව.
14 නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව.
15 ස්වාමීන්ගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ,
16 නපුරුකම් කරන්නන් ගැන සිහිවීම පොළොවෙන් සිඳ දමන පිණිස ස්වාමීන්ගේ මුහුණ ඔවුන්ට විරුද්ධවේ.
17 ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය, ස්වාමීන්වහන්සේ අසා ඔවුන්ගේ සියලු දුක්වලින් ඔවුන් ගැළවූසේක.
18 ස්වාමීන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටිනසේක. තැළුණු ආත්ම ඇත්තන් ගළවනසේක.
19 ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක.
20 උන්වහන්සේ ඔහුගේ ඇට සියල්ල ආරක්ෂාකරනසේක. එයින් එකක්වත් නොබිඳේ.
21 නපුර දුෂ්ටයා නසන්නේය. ධර්මිෂ්ඨයාට ද්වේෂකරන්නෝ වරදට පත්කරනු ලබන්නෝය.
22 ස්වාමීන්වහන්සේ ස්වකීය මෙහෙකරුවන්ගේ ආත්මය මුදනසේක. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන කිසිවෙක්වත් වරදට පත්කරනු නොලබන්නේය.