ගීතාවලිය

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150


-Reset+

ගීතාවලිය 69

1 දෙවියන්වහන්ස, මා ගැළෙවුව මැනව; මක්නිසාද ජලධාරා මාගේ ප්‍රාණයතෙක් පැමිණ තිබේ.
2 සිටින්ට තැනක් නැති ගැඹුරු මඩෙහි කිදී සිටිමි. ගැඹුරු ජලයට පැමිණ සිටිමි, ජල ධාරාවෝ මා උඩින් ගලායති.
3 මාගේ මොරගැසීමෙන් වෙහෙසව සිටිමි; මාගේ උගුර වියළී තිබේ. මාගේ දෙවියන්වහන්සේ ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ.
4 නිෂ්කාරණයේ මට වෛරවන්නෝ මාගේ ඉසකේවලට වැඩිය. අයුතුලෙස මට සතුරුව මා සිඳ දමන්ට කැමැත්තෝ බලවත්ය. එවිට මා විසින් පැහැර නොගත් දෙය දෙන්ට සිදුවිය.
5 දෙවියන්වහන්ස, ඔබ මාගේ අඥානකම දන්නාසේක; මාගේ පව්ද ඔබගෙන් සැඟවී නැත.
6 සේනාවල දෙවිවූ ස්වාමිනි, ඔබ කෙරෙහි බලාසිටින්නෝ මා නිසා ලජ්ජාවට නොපැමිණෙත්වා, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබ සොයන්නෝ මා නිසා අගෞරවයට නොපැමිණෙත්වා.
7 මක්නිසාද මම ඔබ නිසා නින්දා ඉවසීමි; මාගේ මුහුණ ලජ්ජාවෙන් වැසී ගියේය.
8 මාගේ සහෝදරයන්ට ආගන්තුකයෙක්ව, මාගේ මෑණියන්ගේ දරුවන්ට විදේශියෙක්ව සිටිමි.
9 මක්නිසාද ඔබගේ ගෘහය සඳහා ඇති ජ්වලිතය මා දැවුවේය; ඔබට නින්දාකරන්නන්ගේ නින්දා මා පිට වැටී තිබේ.
10 මා ඇඬූ කලද නිරාහාරව සිටීමෙන් මාගේ ආත්මයට දුක් ඉපදවූ කලද එය මට නින්දාවක් විය.
11 ගෝණි මාගේ ඇඳුම් කොට ගත් කල මම ඔවුන්ට නින්දා වාක්‍යයක් වීමි.
12 නුවර දොරකඩ හිඳින අය මා ගැන කථාකෙරෙති; බේබද්දන්ගේ කවි මා ගැන වෙයි.
13 එහෙත් ස්වාමිනි, මම වනාහි පිළිගන්නා කාලයකදී මාගේ යාච්ඤාව ඔබට පුදමි. දෙවියන්වහන්ස, ඔබගේ අධික දයාවෙන්, ඔබගේ ගැළවීමේ සැබෑකමින් මට උත්තරදුන මැනව.
14 ගිලීයන්ට නොදී මා මඩෙන් ගොඩ ගත මැනව. මට වෛරවෙන්නන්ගෙන්ද ගැඹුරු ජලයෙන්ද ගැළවෙම්වා.
15 ජලගැල්ම මා යට නොකෙරේවා, ගැඹුර මා ගිල නොගනීවා; වළද මා රැගෙන කට පියා නොගනීවා.
16 ස්වාමිනි, මට උත්තරදුන මැනව; මක්නිසාද ඔබගේ කරුණාගුණය යහපත්ය. ඔබගේ දයාබරකම් රාශිය ලෙස මා දෙසට හැරුණ මැනව.
17 ඔබගේ මෙහෙකරුවාගෙන් ඔබගේ මුහුණ සඟවා නොගත මැනව; මක්නිසාද විපතට පත්ව සිටිමි; ඉක්මනින් මට උත්තරදුන මැනව.
18 මාගේ ප්‍රාණයට ළංවී එය මිදුව මැනව. මාගේ සතුරන් නිසා මා නිදහස්කළ මැනව.
19 ඔබ මාගේ නින්දාවද ලජ්ජාවද අවනම්බුවද දන්නාසේක. මාගේ සියලු එදිරිකාරයෝ ඔබ ඉදිරියෙහිය.
20 නින්දාවෙන් මාගේ සිත බිඳුණේය; මම ශෝකයෙන් පිරී සිටිමි. අනුකම්පාකරන්නෙකු බලාසිටියෙම් නුමුත් කිසිවෙක් නොවීය; සනසන්නන් සෙවීමි, නුමුත් සම්බ නොවීය.
21 ආහාර පිණිස ඔව්හු මට තික්ත ද්‍රව්‍ය දුන්නෝය; පිපාසාවූ කල කාඩි බොන්ට දුන්නෝය.
22 ඔවුන්ගේ මේසය ඔවුන් ඉදිරියෙහි මලපතක් වේවා; ඔවුන්ට සමාදානය ඇති කල එය උගුලක්ද වේවා.
23 නොපෙනෙන ලෙස ඔවුන්ගේ ඇස් අඳුරුවේවා; ඔවුන්ගේ කටි නිතරම වෙවුලන්ට සැලැස්සුව මැනව.
24 ඔවුන් පිට ඔබගේ කෝපය වත්කළ මැනව. ඔබගේ කෝපාග්නිය ඔවුන් පිට වැටේවා.
25 ඔවුන්ගේ වාසස්ථානය පාළුවේවා; ඔවුන්ගේ කූඩාරම්වල වාසය කරන්නෙක් නොවේවා.
26 මක්නිසාද ඔබ පහරදුන් අයට ඔව්හු පීඩාකෙරෙති; ඔබ තුවාලකළ අයගේ දුක ගැන කථාකෙරෙති.
27 ඔවුන්ගේ අයුතුකමට අයුතුකම එකතුකළ මැනව. ඔව්හු ඔබගේ ධර්මිෂ්ඨකමට ඇතුල් නොවෙත්වා,
28 ඔව්හු ජීවන පොතෙන් මැකීයෙත්වා, ධර්මිෂ්ඨයන් සමඟ නොලියවෙත්වා.
29 එහෙත් මම දුප්පත්මි, දුක්ඛිතයෙමි. දෙවියන්වහන්ස, ඔබගේ ගැළවීම මා උසස්කෙරේවා.
30 ගීතිකාවකින් දෙවියන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරන්නෙමි, ස්තුතිකිරීමෙන් උන්වහන්සේ උසස් කරන්නෙමි.
31 ගොනෙකුට හෝ අං ඇති කුර ඇති හරකෙකුට වඩා ස්වාමීන්වහන්සේ මීට ප්‍රසන්න වනසේක.
32 මොළොක්ගුණ ඇත්තෝ ඒ දැක සන්තෝෂවෙති. දෙවියන්වහන්සේ සොයන්නෙනි, ඔබ සැමගේ සිත ජීවත්වේවා.
33 මක්නිසාද ස්වාමීන්වහන්සේ දිළිඳුන්ට කන්දෙනසේක, තමන් හිරකාරයන් සුළුකොට නොසිතනසේක.
34 අහස හා පොළොවද මුහුදු හා එහි හැසිරෙන සියල්ලෝද උන්වහන්සේට ප්‍රශංසාකෙරෙත්වා.
35 මක්නිසාද දෙවියන්වහන්සේ සියොන් ගළවනසේක, යුදාගේ නුවරවල් ගොඩනගනසේක; ඔව්හු එහි වෙසෙමින් එය භුක්ති විඳින්නෝය.
36 උන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ වංශය එහි උරුමය ලබන්නෝය. උන්වහන්සේගේ නාමයට ප්‍රේමකරන්නෝ එහි වාසයකරන්නෝය.