ගීතාවලිය

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150


-Reset+

ගීතාවලිය 71

1 ස්වාමිනි, ඔබ විශ්වාසකරමි. කිසිකලකත් ලජ්ජා නොවෙම්වා.
2 ඔබගේ ධර්මිෂ්ඨකමින් මා මුදා නිදහස් කළ මැනව. ඔබගේ කන මා දෙසට නමා මා ගැළෙවුව මැනව.
3 මා නිතරම යන පිණිස මට පර්වත නිවාසයක් වුව මැනව. මා ගළවන්ට ඔබ අණ දී තිබේ; මක්නිසාද මාගේ පර්වතය හා බලකොටුවත් ඔබය.
4 මාගේ දෙවියන්වහන්ස, දුෂ්ටයාගේ අතින්, එනම් අධර්මිෂ්ඨවූ කෲරවූ මනුෂ්‍යයාගේ අතින්, මා මුදාගත මැනව.
5 මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්ස, මාගේ බලාපොරොත්තුව ඔබය. තරුණ වයස පටන් මාගේ විශ්වාසය ඔබය.
6 මවු ගැබෙහි පටන් ඔබ මා ඉසුලූසේක. මවු කුසින් මා පිටතට ගත්තේ ඔබය. මාගේ ප්‍රශංසාව නිතරම ඔබ ගැන වන්නේය.
7 මම බොහෝ දෙනෙකුට විස්මයක් මෙන් වෙමි; නුමුත් ඔබ මාගේ බලවත් රක්ෂාස්ථානයය.
8 මාගේ මුඛය දවස මුළුල්ලේ ඔබට ප්‍රශංසාකිරීමෙන්ද ගෞරවකිරීමෙන්ද පිරෙන්නේය.
9 මහලු වයසේදී මා ඉවත නොහළ මැනව; මාගේ ශක්තිය පිරිහෙන කල මා අත්නෑරිය මැනව.
10 මක්නිසාද මාගේ සතුරෝ මා ගැන කථාකෙරෙති; මාගේ ප්‍රාණය ගැන රැකසිටින්නෝ එක්ව මන්ත්‍රණයකරමින්:
11 දෙවියන්වහන්සේ ඔහු අත්හැරිය සේක. ලුහුබඳිමින් ඔහු අල්වාගනිව්; මක්නිසාද ඔහු මුදන්ට කිසිවෙක් නැතැයි කියති.
12 දෙවියන්වහන්ස, මා කෙරෙන් දුරුනූව මැනව, මාගේ දෙවියන්වහන්ස, මට උපකාර කරන්ට ඉක්මන්වුව මැනව.
13 මාගේ ප්‍රාණයට විරුද්ධව සිටින්නෝ ලජ්ජාවටත් විනාශයටත් පැමිණෙත්වා; මට අන්තරායකරන්ට සොයන්නෝ නින්දාවෙනුත් අගෞරවෙයනුත් වැසීයෙත්වා.
14 එහෙත් මම නිතරම බලාපොරොත්තු වෙමින් වඩ වඩා ඔබට ප්‍රශංසාකරන්නෙමි.
15 මාගේ මුඛය දවස මුළුල්ලේ ඔබගේ ධර්මිෂ්ඨකම හා ඔබගේ ගැළවීම ප්‍රකාශකරන්නේය; මක්නිසාද එහි ගණන නොදනිමි.
16 ස්වාමිවූ දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියා පෙරටුකොටගෙන එන්නෙමි. ඔබගේ ධර්මිෂ්ඨකම පමණක්ම සඳහන්කරන්නෙමි.
17 දෙවියන්වහන්ස, මාගේ යෞවන කාලයේ පටන් ඔබ මට ඉගැන්වූ සේක; මේ දක්වා ඔබගේ ආශ්චර්ය ක්‍රියා ප්‍රකාශකෙළෙමි.
18 දෙවියන්වහන්ස, ඔබගේ ශක්තිය එන පරම්පරාවටත් ඔබගේ බලය මතු පැමිණෙන සියල්ලන්ටත් මා විසින් ප්‍රකාශකරන තෙක්, මහලුව හිස පැසුණු කල්හි පවා මා අත්නෑරිය මැනව.
19 දෙවියන්වහන්ස, ඔබගේ ධර්මිෂ්ඨකම ඉතා උසස්ය; මහත් දේවල් කළාවූ දෙවියන්වහන්ස, ඔබට සමාන කවුද?
20 බොහෝ තද දුක් අපට පැමිණෙවු ඔබ නැවත අප ජීවත්කොට, පොළොවේ ගැඹුරු තැන්වලින් අප නැවත ගොඩගන්නාසේක.
21 මාගේ උතුම්කම වැඩිකොට, නැවත හැරී මා සැනසුව මැනව.
22 මාගේ දෙවියන්වහන්ස, ඔබ, එනම් ඔබගේ සැබෑකම, කුඩා වීණාවෙන් වර්ණනාකරන්නෙමි. ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්ස, මහ වීණාවෙන් ඔබට ගායනාකරන්නෙමි.
23 මා විසින් ඔබට ප්‍රශංසා ගී කියන කල මාගේ තොල්ද ඔබ මිදුවාවූ මාගේ ආත්මයද බොහෝ කොට ප්‍රීතිවන්නේය.
24 මාගේ දිවද දවස මුළුල්ලේම ඔබගේ ධර්මිෂ්ඨකම ගැන කථාකරන්නේය. මක්නිසාද මට අන්තරායකරන්ට සොයන්නෝ ලජ්ජාවටත් වියවුල් භාවයටත් පැමුණුණෝය.