හොෂෙයා

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14


-Reset+

පරිච්ඡේදය 1

1 යූදාහි රජවරුවූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වල සහ යෝවාෂ්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙරොබෝවම්ගේ දවස්වලත් බෙයේරීගේ පුත්‍රවූ හොෂෙයාට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.
2 හොෂෙයා ලවා ස්වාමීන්වහන්සේ කියෙවු කාරණාවල පටන්ගැන්මය. ස්වාමීන්වහන්සේ හොෂෙයාට කථාකොට: නුඹ ගොස් වේශ්‍යා භාර්යාවක්ද වේශ්‍යා දරුවන්ද අරගන්න. මක්නිසාද දේශය ස්වාමීන්වහන්සේගෙන් අහක්වී බොහෝසේ වේශ්‍යාකම්කෙරේයයි කීසේක.
3 එවිට ඔහු ගොස්, දිබ්ලයිම්ගේ දූවූ ගොමෙර් පාවාගත්තේය; ඈ ගර්භිණීව ඔහු නිසා පුත්‍රයෙකු බිහිකළාය.
4 ස්වාමීන්වහන්සේද: ඔහුට යෙස්‍රෙයෙල් යන නම තබන්න; මක්නිසාද තව ස්වල්ප කාලයකින් යෙස්‍රෙයෙල්හි ලේ ගැන යේහුගේ වංශයට දඬුවම්කොට, ඉශ්‍රායෙල් වංශයේ රාජ්‍යය නැතිකරන්නෙමි.
5 ඒ දවසේ යෙස්‍රෙයෙල් මිටියාවතේදී ඉශ්‍රායෙල්වරුන්ගේ දුන්න බිඳින්නෙමියි කීසේක.
6 ඈ නැවත ගර්භිණීව දුවෙකු බිහිකළාය. ස්වාමීන්වහන්සේද: ඈට ලෝ-රුහාමා යන නම තබන්න. මක්නිසාද මම ඉශ්‍රායෙල් වංශයට කමාවන ලෙස ඔවුන්ට නැවත තවත් අනුකම්පා නොකරන්නෙමි.
7 නුමුත් මම යූදා වංශයට අනුකම්පාකොට, ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කරණකොටගෙන ඔවුන් ගළවන්නෙමි, දුන්නවත් කඩුවවත් යුද්ධයවත් අශ්වයන්වත් අසරුවන්වත් කරණකොටගෙන මම ඔවුන් නොගළවන්නෙමියි ඔහුට කීසේක.
8 ලෝ-රුහාමා කිරිවැරෙවුවායින් පසු ඈ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකළාය.
9 ස්වාමීන්වහන්සේ මෙසේ කීසේක: ඔහුට ලෝ-අම්මී* යන නම තබන්න. මක්නිසාද නුඹලා මාගේ සෙනඟ නොවේය, මමත් නුඹලාගේ දෙවියන්වහන්සේව නොසිටින්නෙමි. (* එනම්, මාගේ සෙනඟ නොවේ)
10 එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන මනින්ටවත් ගණින්ටවත් බැරිවූ මුහුදේ වැලි මෙන් වන්නේය. තවද: නුඹලා මාගේ සෙනඟ නොවේයයි ඔවුන්ට කියන ස්ථානයේ දීම-ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි ඔවුන්ට කියනු ලැබේ.
11 යූදා පුත්‍රයෝද ඉශ්‍රායෙල් පුත්‍රයෝද එක්ව රැස්වී, තමුන්ට එක ප්‍රධානියෙකු පත්කරගන, (වහල්කමේ) දේශයේ සිට නැගී එන්නෝය. මක්නිසාද යෙස්‍රෙයෙල්හි දවස මහත් වන්නේය.