යෝබ්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42


-Reset+

පරිච්ඡේදය 29

1 නැවතත් යෝබ් තමාගේ කථාව පටන්ගෙන කියනුයේ:
2 අනේ, ඉස්සර මාස වන දෙවියන්වහන්සේ මා රැකවල්කළ දවස්වලදී මෙන් මට සිටින්ට ඇත්නම්!
3 එකල උන්වහන්සේගේ පහන මාගේ හිසට උඩින් බැබළුණේය, මමද උන්වහන්සේගේ එළියෙන් අන්ධකාරය මැදින් ගියෙමි;
4 මාගේ සරත් කාලයෙහි මා සිටි ලෙසම සිටින්ට ඇත්නම්! එකල දෙවියන්වහන්සේගේ මිත්‍ර ලාභය 29:4 එනම්, සමෘද්ධිය ඇතිවූ කාලය. මාගේ කූඩාරම කෙරෙහි තිබුණේය;
5 සර්වපරාක්‍රමයාණෝ ඒ දක්වා මා සමඟ සිටිසේක, මාගේ දරුවෝද මා වටකර සිටියෝය.
6 එකල මාගේ පියවර ගිතෙලින් සෝදා ගතිමි, පර්වතයෙන්ද තෙල් ගංගා මා වෙත ගලා ආවේය.
7 මා නුවර දොරටුව ළඟට නික්ම ගොස් එළිමහනෙහි මාගේ ආසනය තැබූ කල,
8 තරුණයෝ මා දැක සැඟවුණෝය, මහල්ලෝද නැගිට සිටියෝය.
9 අධිපතීහු කථාව නවත්වා සිටියෝය, අතින් තමුන්ගේ කට වසාගත්තෝය.
10 උත්තමයින්ගේ හඬ නැවතී, ඔවුන්ගේ දිව ඔවුන්ගේ උඩුතල්ලේ ඇලුණේය.
11 මක්නිසාද කන ඇසූ කල්හි මට ආශීර්වාදකෙළේය; ඇසද මා දුටු කල්හි මා ගැන වර්ණනා කෙළේය.
12 මක්නිසාද හඬා සිටි අසරණයාද පියා නැත්තා සහ උපකාරකාරයෙක් නැත්තාද ගැළෙවුවෙමි.
13 නාස්තිවෙන්ට ළංව සිටි අයගේ ආශීර්වාදය මා පිටට පැමුණුණේය. වැන්දඹුවගේ සිතත් ප්‍රීතියෙන් පිනායන්ටද සැලැස්වීමි.
14 මම ධර්මිෂ්ඨකම පැළඳගතිමි, එයද මා පැළඳගත්තේය; මාගේ යුක්තිය සළුවක්ද මකුටයක්ද මෙන් තිබුණේය.
15 මම අන්ධයාට ඇස්ව කොරාට පාදව සිටියෙමි.
16 මම දිළිඳාට පියෙක් වීමි; මා නොදැන සිටි අයගේ කාරණය සොයා බැලීමි.
17 මම අධර්මිෂ්ඨයාගේ හක්ක බිඳදමා, ඔහුගේ අත්වලින් ගොදුර උදුරා හැරියෙමි.
18 එවිට මම කථාකොට: මාගේ කැදැල්ලෙහි නසින්නෙමි, මාගේ දවස්ද වැලි මෙන් වැඩිවන්නේය.
19 මාගේ මුල ජලය දක්වා පැතිර ගියේය, පිනිද රෑ මුළුල්ලේ මාගේ අත්ත පිට පවතින්නේය.
20 මාගේ ඉසුර මා කෙරෙහි අමුව තිබේ, මාගේ දුන්නද මාගේ අතෙහි අලුත්වන්නේයයි කීමි.
21 මනුෂ්‍යයෝ මට ඇහුම්කන්දී බලාසිට, මාගේ දැනමුතුකම ලබන්ට නිශ්ශබ්දවුණෝය.
22 මාගේ වචනවලට පසු ඔව්හු කථානොකර සිටියෝය; මාගේ කථාව පිනි මෙන් ඔවුන් පිට වැටුණේය.
23 වැස්ස ගැන මෙන් ඔව්හු මා ගැන බලාසිටියෝය; අන්තිම වර්ෂාව ගැන මෙන් තමුන්ගේ මුඛය ඇරගන සිටියෝය.
24 මා සිනාසී ඔවුන් දෙස බැලූ කල ඔව්හු විශ්වාස නොකළෝය; මාගේ මුහුණේ එළියද නොසලකා නොසිටියෝය.
25 මම ඔවුන්ගේ මාර්ගය නියමකරදී, ප්‍රධානියාව හිඳ, හමුදාවෙහි රජෙකු මෙන්ද වැලපෙන්නන් සනසන්නෙකු මෙන්ද වාසයකෙළෙමි.