හිතෝපදේශ

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31


-Reset+

පරිච්ඡේදය 28

1 කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.
2 දේශයක කැරළිකාරකම නිසා එහි අධිපතියෝ බොහෝ වෙති; එහෙත් තේරුම සහ දැනගැන්ම ඇති මනුෂ්‍යයන් කරණකොට එය බොහෝ කල් පවතින්නේය.
3 දුප්පතුන්ට පීඩාකරන දිළිඳු මනුෂ්‍යයෙක් කෑම ඉතිරි නොවන ලෙස ගහගෙන යන වැස්සක් මෙන්ය.
4 ව්‍යවස්ථාව අත්හරින්නෝ දුෂ්ටයන්ට ප්‍රශංසාකෙරෙති; එහෙත් ව්‍යවස්ථාව පවත්වන්නෝ ඔවුන්ට විරුද්ධව සිටිති.
5 නපුරු මනුෂ්‍යයෝ යුක්තිය තේරුම් නොගනිති; එහෙත් ස්වාමීන්වහන්සේගෙන් විභාගකරන්නෝ සියල්ල තේරුම්ගනිති.
6 වංක මාර්ග ඇත්තාවූ වස්තුකාරයෙක්ට වඩා තමාගේ ඇදනැතිකමින් හැසිරෙන දිළින්දා හොඳය.
7 ව්‍යවස්ථාව රක්ෂාකරන්නා ඥානවත් පුත්‍රයෙක්ය; එහෙත් නාස්තිකාරයන්ගේ යහළුවා තමාගේ පියා ලජ්ජාවට පමුණුවයි.
8 පොළිය හා ලාභයෙන් තමාගේ වස්තුව වැඩිකරගන්න අය ඒවා එකතුකර තබන්නේ දිළිඳුන්ට කරුණාකරන්නාටය.
9 ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය.
10 නපුරු මාර්ගයක යන ලෙස අවංක අය මුළාකරන තැනැත්තා තමාගේම වළේ වැටෙයි; එහෙත් සම්පූර්ණ අයට යහපත උරුමවේ.
11 වස්තුකාරයා තෙමේ ප්‍රඥාවතෙකැයි සිතන්නේය; එහෙත් තේරුම් ඇති දිළින්දා ඔහු සොයා බලා තේරුම්ගනියි.
12 ධර්මිෂ්ඨයන් ජය ලබන කල මහත් තේජස තිබේ; එහෙත් දුෂ්ටයන් උසස් වන කල මනුෂ්‍යයෝ සැඟවෙති.
13 තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.
14 නිතරම භයවන්නා වාසනාවන්තයෙක්ය; එහෙත් තමාගේ සිත දැඩිකරගන්නා විපතට වැටෙයි.
15 දිළිඳු සෙනඟක් ආණ්ඩුකරන දුෂ්ටයෙක් වනාහි ගොරවන සිංහයෙක්ද ගොදුරු සොයා ඇවිදින වලසෙක්ද මෙනි.
16 නුවණින් හීනවූ අධිපතියා දරුණු පීඩාකාරයෙක් වන්නේය; එහෙත් අයුතු ලාභයට ද්වේෂකරන්නා ආයුෂ වැඩිකරගන්නේය.
17 යමෙකුගේ ලෙයින් බරවී සිටින මනුෂ්‍යයා වළට පලායන්නේය; කිසිවෙක් ඔහු නොවලක්වාවා.
18 ඇදනැතිකමින් හැසිරෙන්නා ගැළවෙයි. එහෙත් තමාගේ මාර්ගවල වංකවූ තැනැත්තා හදිසියෙන් වැටෙන්නේය.
19 තමාගේ බිම අස්වද්දන්නාට බොහෝසෙයින් කෑම ලැබේ; එහෙත් නිෂ්ඵල අය අනුව යන්නා දිළිඳුකමින් පූර්ණවේ.
20 විශ්වාස මනුෂ්‍යයෙකුට බොහෝ ආශීර්වාද ලැබේ; එහෙත් වස්තු උපදවාගන්ට ඉක්මන්වෙන්නා දඬුවම් නොලැබ නොසිටියි.
21 මනුෂ්‍යයන්ගේ තරම බැලීම හොඳ නැත; රොටි කෑල්ලක් නිසා අපරාධකිරීමද හොඳ නැත.
22 අප්‍රසන්න බැල්මක් ඇති මනුෂ්‍යයා වස්තුව පස්සේ වේගයෙන් යන්නේය, තමාට හිඟකම පැමිණෙන බව ඔහු නොදන්නේය.
23 ඉච්චා බස් කියන්නාට වඩා මනුෂ්‍යයෙකුට තරවටුකරන්නාට අන්තිමේදී ප්‍රශංසාව ලැබේ.
24 තමාගේ පියාගෙන් හෝ මව්ගෙන් හෝ සොරාගෙන: වරදක් නැතැයි කියන්නා විනාශකාරයෙකුගේ යහළුවෙක්ය.
25 ගිජු සිත් ඇත්තා තරඟය උපදවයි; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා පුෂ්ටිමත් වෙයි.
26 තමාගේම සිත කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙක්ය; එහෙත් නුවණින් හැසිරෙන්නා ගැළවෙන්නේය.
27 දිළින්දාට දෙන අයට හිඟකමක් නොවන්නේය; එහෙත් තමාගේ ඇස් වසාගන්නා බොහෝ ශාප ලබන්නේය.
28 දුෂ්ටයන් උසස්වෙන කල මනුෂ්‍යයෝ සැඟවෙති; එහෙත් ඔවුන් විනාශවෙන කල ධර්මිෂ්ඨයෝ වැඩිවෙති.