යෙසායා

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66


-Reset+

පරිච්ඡේදය 20

1 අෂූර්හි රජවූ සර්ගොන් විසින් එවුවාවූ තර්තාන් අෂ්දෝද්ට ඇවිත් ඊට විරුද්ධව යුද්ධකොට අල්වාගත් අවුරුද්දේදී,
2 ස්වාමීන්වහන්සේ ආමොස්ගේ පුත්‍රවූ යෙසායා ලවා කථාකරමින්: නුඹ ගොස් නුඹේ ඉඟටියෙන් ගෝණි රෙද්ද මුදා නුඹේ පාදවලින් වහන් ගළවන්නැයි කීසේක. ඔහු එසේ කොට වස්ත්‍රද වහන්ද නැතුව ඇවිද්දේය.
3 ස්වාමීන්වහන්සේ කථාකොට: මාගේ මෙහෙකරුවූ යෙසායා තුන් අවුරුද්දක් මිසරය ගැනත් කූෂ් දේශය ගැනත් ලකුණක්ද පුදුමයක්ද වශයෙන් වස්ත්‍රද වහන්ද නැතුව ඇවිද්දාක්මෙන්,
4 අෂූර්හි රජ වාලට ගන්නාලද මිසරවරුන්ද පිටිවහල්ව සිටින කූෂ්වරුන්ද රැගෙන, වස්ත්‍ර හා වහන් නැතුව, ඔවුන්ගේ තට්ටම් නග්නව තිබෙද්දී, මිසරයට නින්දාවක් කොට ගෙනයනවා ඇත.
5 ඔව්හු තමුන්ගේ බලාපොරොත්තුව වන කූෂ් ගැනද තමුන්ගේ පාරට්ටුව වන මිසරය ගැනද කැලඹී ලජ්ජාවට පැමිණෙන්නෝය.
6 මේ මුහුදුබඩ වැසියෝ ඒ දවසෙහි කථාකොට: බලව, අෂූර්හි රජුගෙන් ගැළවෙන පිණිස පිහිට ලබන්ට අප පලාආවාවූ ස්ථානය වන අපේ බලාපොරොත්තුවට මෙසේ වූයේ නම් අපි කෙසේ ගැළවෙන්නෙමුදැයි කියනවා ඇතැයි කීසේක.