යෙරමියා

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52


-Reset+

පරිච්ඡේදය 43

1 යෙරෙමියා මුළු සෙනඟට ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු ලවා ඔවුන්ට කියා ඇරියාවූ ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු වචන වන ඒ සියලු වචන කියා තීන්දුවුණු විට,
2 හෝෂායාගේ පුත්‍රවූ අසරියාද කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද උඩඟුවූ සියලු මනුෂ්‍යයෝද යෙරෙමියාට කථාකොට: නුඹ බොරු කියන්නෙහිය. මිසරයෙහි පොරොත්තුව සිටීමට එහි යන්ට එපායයි කියන්ට අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ එවුවා නොව,
3 කල්දිවරුන් විසින් අප මරන්ටත් බබිලෝනියට අප අල්ලා ගෙනයන්ටත් ඔවුන්ගේ අතට අප පාවාදෙන පිණිස නේරියාගේ පුත්‍රවූ බාරුක් අපට විරුද්ධව නුඹ පොළඹවන්නේයයි කීවෝය.
4 මෙසේ කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද සේනාවල සියලු අධිපතීහුද මුළු සෙනඟද යූදා දේශයෙහි සිටින පිණිස ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවූහ.
5 නුමුත් කාරේයාගේ පුත්‍රවූ යොහානාන් සහ සේනාවල සියලු අධිපතීහුද යූදාවරු යම් යම් ජාතීන් අතරට පන්නනු ලැබුවාහුද, යූදා දේශයෙහි සිටීමට ඒ සියලු ජාතීන් අතරෙන් හැරී ආවාවූ ඉතිරිව සිටි සියලු යූදාවරුන් වන,
6 පුරුෂයන්ද ස්ත්‍රීන්ද දරුවන්ද රජුගේ දූවරුන්ද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් විසින් ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියා වෙත නවත්වා ගියාවූ සියලු ප්‍රාණීන්ද අනාගතවක්තෘවූ යෙරෙමියාද නේරියාගේ පුත්‍රවූ බාරුක්ද රැගෙන,
7 ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, මිසර දේශයට පැමිණියෝය. තවද ඔව්හු තාපන්හේස් දක්වා ගියෝය.
8 එකල තාපන්හේස්හිදී ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය:
9 නුඹේ අතින් ලොකු ගල් රැගෙන යූදාවරුන් බලා සිටියදී තාපන්හේස්හි ඵාරාවෝගේ ගෘහයේ දොරටුවෙහි තිබෙන ගඩොල් වැඩේ බදාම තුළ සඟවා තබා,
10 ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-බලව, මම මිනිසුන් යවා මාගේ සේවකයා වන බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ගෙන්වා, මා විසින් සඟවා තැබූ මේ ගල් පිට ඔහුගේ සිංහාසනය තබන්නෙමි; ඔහුද තමාගේ රාජකීය සේසත ඒවා උඩ තබනවා ඇත.
11 ඔහු ඇවිත් මිසර දේශයට පහරදෙනවා ඇත; මරණයට නියමවූ අය මරණයටත් වාල්කමට නියමවූ අය වාල්කමටත් කඩුවට නියමවූ අය කඩුවටත් අසුවන්නෝය.
12 මමද මිසරයේ දෙවිවරුන්ගේ ගෘහවල ගින්නක් දල්වන්නෙමි; ඔහු ඒවා දවාදමා, රැගෙන ගොස්, එඬේරෙක් තමාගේ ඇඳුම පෙරවාගන්නාක් මෙන් මිසර දේශයේ පෙරවාගෙන, එතැනින් සමාදානයෙන් පිටත්ව යන්නේය.
13 ඔහු මිසර දේශයේ තිබෙන බෙත්-ෂෙමෙෂ්හි කුළුනු බිඳදමන්නේය; මිසරයේ දෙවිවරුන්ගේ ගෘහද ගින්නෙන් දවන්නේයයි ඔවුන්ට කියන්නැයි කීය.