එසකියෙල්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48


-Reset+

පරිච්ඡේදය 6

1 ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2 මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ඉශ්‍රායෙල් කඳු දෙසට හරවාගෙන ඒවාට විරුද්ධව මෙසේ අනාගතවාක්‍ය කියන්න-
3 එම්බා ඉශ්‍රායෙල් කඳු, ස්වාමිවූ දෙවියන්වහන්සේගේ වචනය අසන්න. කඳු‍වලටත් හෙල්වලටත් දියපාරවලටත් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මම, මමම, නුඹලා පිටට කඩුවක් පමුණුවා, නුඹලාගේ උස්තැන් නැතිකරන්නෙමි.
4 නුඹලාගේ පූජාසන පාළුවන්නේය, නුඹලගේ සූර්ය රූප කඩාදමනු ලබන්නේය. නුඹලාගේ මැරුම්කෑ අය නුඹලාගේ දේවරූප ඉදිරිපිට හෙළන්නෙමි.
5 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මළකඳන් ඔවුන්ගේ දේවරූප ඉදිරියෙහි දමා, නුඹලාගේ ඇට නුඹලාගේ පූජාසන වටකරින් විසුරුවන්නෙමි.
6 නුඹලාගේ පූජාසන පාළුවී, නාස්තිවී, නුඹලාගේ දේවරූප කඩාදමනු ලැබ නැතිවී, නුඹලාගේ සූර්යරූප කඩාදමනු ලැබ, නුඹලාගේ කර්මාන්ත මැකීයන පිණිස, නුඹලාගේ සියලු වාසස්ථානවල නුවරවල් නටබුන්වන්නේය, උස්තැන්ද පාළුවන්නේය.
7 නුඹලා අතරෙහි මැරුම්කෑවුන් වැටෙනවා ඇත, මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.
8 එසේවී නුමුත් දේශවල නුඹලා විසුරුවනු ලබන කල, නුඹලාගෙන් සමහරෙක් කඩුවෙන් ගැළවී ජාතීන් අතරේ සිටින පිණිස කොටසක් ඉතිරිකරන්නෙමි.
9 නුඹලාගේ ඉතිරි වෙන අය මා වෙතින් අහක්ව ගියාවූ ඔවුන්ගේ වේශ්‍යා සිත්ද තමුන්ගේ දේව රූප පස්සේ වේශ්‍යාකමින් යන ඔවුන්ගේ ඇස්ද මා විසින් බිඳදැම්මාම, ඔවුන් වාලට ගෙනයන ජාතීන් අතරේදී මා සිහිකොට, තමුන්ගේ සියලු පිළිකුල් ක්‍රියාවලින් තමුන් කළාවූ නපුරුකම් නිසා තමුන්ටම පිළිකුල්කරන්නෝය.
10 මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝය. ඔවුන්ට මේ විපත්තිය පමුණුවන්නෙමියි කියා මා විසින් නිෂ්ඵල ලෙස කීවා නොවේයයි කීය.
11 ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ අත් පා ගසමින්- අහෝ! කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද වැටෙන්ට සිටින ඉශ්‍රායෙල් වංශයේ සියලු නපුරු පිළිකුල් දේවල හැටියයි කියන්න.
12 ඈත සිටින අය වසංගතයෙන් මැරෙනවා ඇත; ළඟ සිටින අය කඩුවෙන් වැටෙන්නෝය; ඉතුරුවී වටලෑමට අසුවෙන අය සාගතයෙන් නසිනවා ඇත. මෙලෙස මම ඔවුන් කෙරේ මාගේ කෝපය ඉෂ්ටකරන්නෙමි.
13 ඔවුන් තමුන්ගේ සියලු දේවරූපවලට මිහිරි සුවඳ ඔප්පුකළ ස්ථාන වන උස්වූ සියලු හෙල්වලත් සියලු කඳු මුදුන්වලත් සියලු අමුගස් යටත් ඝන අතු ඇති සියලු අලෝන ගස් යටත් ඔවුන්ගේ පූජාසන වටකර ඔවුන්ගේ දේවරූප අතරෙහි ඔවුන්ගේ මැරුම්කෑවුන් වැටී සිටින කල, මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.
14 මම ඔවුන්ට විරුද්ධව මාගේ අත දිඟුකොට, කාන්තාරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන මුළුල්ලෙහි දේශය පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.