දානියෙල්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12


-Reset+

පරිච්ඡේදය 12

1 ඒ කාලයේදී නුඹේ සෙනඟගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපතියාවූ මීකායෙල් නැගිටින්නේය. ඒ වනාහි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලය දක්වා නොවූ ආකාර විපත්ති කාලයක් වන්නේය. ඒ කාලයේදී නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා තිබෙන සියල්ලෝ ගැළවෙන්නෝය.
2 පොළොවේ ධූලියෙහි සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක්, සමහරෙක් සදාකාල ජීවනයටත් සමහරෙක් නින්දාව සහ සදාකාල නීචකමටත්, පිබිද එන්නෝය.
3 නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවාගන්නෝ තාරකාවන් මෙන්ද සදාකාලේටම බැබළෙන්නෝය.
4 නුමුත්, දානියෙල්, නුඹ මේ වචන වසා, අන්තිම කාලය දක්වා පොත මුද්‍රකර තබන්න. බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත, දැනගැන්මද වැඩිවන්නේයයි කීවේය.
5 එකල දානියෙල් වන මම බලා, තවත් දෙදෙනෙක්, එක්කෙනෙක් ගඟ මෙගොඩද එක්කෙනෙක් ගඟ එගොඩද, සිටිනවා දුටිමි.
6 එවිට සිහින් හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයාට එක්කෙනෙක් කථාකොට: මේ අපූරු දේවල් තීන්දුවීමට කොපමණ කල් ගතවෙනවා ඇද්දැයි ඇසුවේය.
7 එවිට හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයා තමාගේ දකුණතද වමතද අහස දෙසට ඔසවා, සදාකාලයටම ජීවත්වන තැනන්වහන්සේ ගැන දිවුරා: කාලයකටත් කාලවලටත් කාල භාගයකටත් එය පවතිනවා ඇත; ශුද්ධවන්ත සෙනඟගේ බලය විසිරවීම තීන්දුකළාම මේ සියල්ල තීන්දුවන්නේයයි කියනවා ඇසීමි.
8 මම ඇසුවෙමි, නුමුත් තේරුම් නොගතිමි. එවිට මම: මාගේ ස්වාමිනි, මේ දේවල තීන්දුව කිමෙක්දැයි ඇසීමි.
9 ඔහුද: දානියෙල්, නුඹ යන්න. මක්නිසාද අන්තිම කාලය දක්වා මේ වචන වසා මුද්‍රකොට තිබේ.
10 බොහෝ දෙනෙක් තමුන්ම ශුද්ධ පවිත්‍රකරගෙන පිරිසිදුවන්නෝය; දුෂ්ටයෝ දුෂ්ටකම්කරන්නෝය; දුෂ්ටයන්ගෙන් කිසිවෙක් තේරුම් නොගන්නෝය. නුමුත් නුවණ ඇත්තෝ තේරුම්ගනිති.
11 දවස්පතා පූජාව පහකර පාළුකරන පිළිකුල පිහිටුවන කාලය පටන් එක්දාස් දෙසිය අනූ දවසක් වන්නේය.
12 එක්දාස් තුන්සිය තිස්පස් දවස දක්වා බලාසිට, ඒ කාලයට පැමිණෙන තැනැත්තේ වාසනාවන්තයෙක්ය.
13 නුඹ ගොස් අන්තිමය වන තුරු සිටින්න. නුඹ සැතපී දවස්වල අන්තිමයේදී නුඹේ කොටස [භුක්තිවිඳීමට] නැඟිටින්නෙහියයි කීවේය.