යෝනා

පරිච්ඡේදය: 1 2 3 4


-Reset+

පරිච්ඡේදය 3

1 ස්වාමීන්වහන්සේගේ වචනය යෝනා වෙතට දෙවෙනි වර පැමිණ:
2 නුඹ නැගිට නිනිවය නම් මහත් නුවරට ගොස්, මා විසින් නුඹට කියන කාරණා එහි ප්‍රකාශකරන්නැයි කීසේක.
3 එවිට යෝනා නැගිට ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට නිනිවයට ගියේය. නිනිවය වනාහි තුන් දවසක ගමන් ප්‍රමාණවූ ඉතා මහත් නුවරක්ය.
4 යෝනා නුවරට ඇතුල්වෙන්ට පටන්ගෙන දවසක ගමන් යමින්: තව සතළිස් දවසකින් නිනිවය හෙළාදමනු ලැබේයයි කියා ප්‍රකාශකෙළේය.
5 එවිට නිනිවයෙහි මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසකොට, උපවාසයක් ප්‍රසිද්ධකර, ලොකු අය පටන් කුඩා අය දක්වා ගෝණිරෙදි ඇඳගත්තෝය.
6 ඒ ආරංචිය නිනිවයේ රජු වෙතට පැමුණුණු විට, හෙතෙම තමාගේ සිංහාසනයෙන් බැස, තමාගේ සළුව අහක තබා, ගෝණිරෙදි පෙරවාගෙන, අලු පිට හිඳගත්තේය.
7 තවද රජු සහ ඔහුගේ උත්තමයන්ගේ ආඥාව පිට: මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් ගවයෙක්වත් බැටළුවෙක්වත් කිසිවක් රස නොබලත්වා. කිසි කෑමක් නොකත්වා, වතුර නොබොත්වා.
8 මනුෂ්‍යයාද මෘගයාද ගෝණිරෙදි පෙරවාගන, දෙවියන්වහන්සේට බලවත්ලෙස මොරගසත්වා. එසේය, ඔවුන් එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද තමුන්ගේ අත්වල බලාත්කාරයෙන්ද හැරේවා.
9 අප විනාශ නොවන ලෙස සමහරවිට දෙවියන්වහන්සේ හැරී, තැවී, තමන්ගේ බලවත් උදහසෙන් නොහැරෙන සේක්ද කියා දන්නේ කවුදැයි නිනිවයෙහි ප්‍රකාශකරන ලද්දේය.
10 එවිට ඔවුන්ගේ ක්‍රියා-එනම් තමුන්ගේ නපුරු මාර්ගයෙන් ඔවුන් හැරුණු බව-දෙවියන්වහන්සේ දැක, ඔවුන්ට කරමියි කීවාවූ විපත්තිය ගැන තැවී, ඒක නොකළසේක.