සෙකරියා

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14


-Reset+

පරිච්ඡේදය 4

1 මා සමඟ කථාකළ දූතයා නැවත ඇවිත් නින්දෙන් පුබුදුවනු ලබන්නාවූ මනුෂ්‍යයෙකු මෙන් මා පුබුදුවා:
2 නුඹට පෙනෙනෙන් මොකදැයි මාගෙන් ඇසුවේය. මමද: මුළුමනින්ම රන්මයවූ පහන් රුකක් මට පෙනෙයි; ඒකේ මුදුනේ ඒකේ භාජනයත් ඒක උඩ ඒකේ පහන් සතකුත්, ඒක උඩ තිබෙන පහන්වලට නළ සතකුත්,
3 ඒක ළඟ පාත්‍රයට දකුණෙන් එකක්ද වමෙන් එකක්ද බැගින් ඔලීව ගස් දකෙකුත් තිබේයයි කීවෙමි.
4 තවද මා සමඟ කථාකළ දූතයාට මම උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, මේවා මොනවාදැයි ඇසුවෙමි.
5 මා සමඟ කථාකළ දූතයා මට උත්තරදෙමින්: මේවා මොනවාද කියා නුඹ දන්නේ නැද්දැයි මට කීවේය. මාගේ ස්වාමිනි, නැතැයි මම කීවෙමි.
6 එකල ඔහු මට උත්තරදෙමින්: සෙරුබ්බාබෙල්ට ස්වාමීන්වහන්සේගේ වචනය මේය. එනම්, බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
7 එම්බා මහත් කන්ද, නුඹ කවුද? සෙරුබ්බාබෙල් ඉදිරියෙහි නුඹ සමභූමියක් වන්නෙහිය. ඔහුද: ඊට කරුණාව ලැබේවා, කරුණාව ලැබේවයි මොරගසමින් ප්‍රධාන ගල පිටතට ගෙනෙනවා ඇතැයි කීය.
8 තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
9 සෙරුබ්බාබෙල්ගේ අත්වලින් මේ ගෘහයේ අත්තිවාරම තැබුවාක්මෙන් ඔහුගේ අත්වලින් ඒක තීන්දුකරනවා ඇත; එසේ සේනාවල ස්වාමීන්වහන්සේ නුඹලා ළඟට මා එවූ බව නුඹ දැනගන්නවා ඇත.
10 මක්නිසාද කුඩා දේවල දවස හෙළාදැක්කේ කවුද? මේ සත වන ස්වාමීන්වහන්සේගේ ඇස් තුමූ සෙරුබ්බාබෙල්ගේ අතේ ලඹකැටය තිබෙනවා දැක ප්‍රීතිවන්නෝය; ඒවා පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවතියි කීය.
11 මම තවත් කථාකොට: පහන්රුකට දකුණෙනුත් වෙමනුත් තිබෙන මේ ඔලීව ගස් දෙක මොනවාදැයි ඔහුගෙන් අසා,
12 නැවත කථාකොට: රන් නළ දෙකෙන් රන් වැනි තෙල් වත්කරදෙන ඔලීව අතු දෙක මොනවාදැයි ඔහුගෙන් ඇසුවෙමි.
13 ඔහු මට උත්තරදෙමින්: මේවා මොනවාද කියා නුඹ දන්නේ නැද්දැයි ඇසුවේය. මාගේ ස්වාමිනි, නැතැයි මම කීමි.
14 මොව්හු මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ වෙත සිටින ආලේපලත් දෙදෙනායයි ඔහු කීය.