මලාකි

පරිච්ඡේදය: 1 2 3 4


-Reset+

පරිච්ඡේදය 4

1 මක්නිසාද උදුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය; එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම්කරන සියල්ලන්ද ඉපනැලි වී, ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට, පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
2 නුමුත් මාගේ නාමය කෙරෙහි භය ඇත්තාවූ නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්යයා ස්වකීය පියාපත්වල සුවකිරීම ඇතුව උදාවන්නේය; නුඹලා නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පනින්නහුය.
3 නුඹලා දුෂ්ටයන් පාගාදමන්නහුය; මක්නිසාද මා විසින් පමුණුවන දවසේදී ඔව්හු නුඹලාගේ පතුල් යට අලු වන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
4 මා විසින් සියලු ඉශ්‍රායෙල්වරුන් උදෙසා හොරෙබ්හිදී මාගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට අණකළ ව්‍යවස්ථාව වන නියෝග සහ විනිශ්චයන් සිහිකරන්න.
5 බලව ස්වාමීන්වහන්සේගේ මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ප්‍රොපේතවූ එලියා නුඹලා වෙතට එවන්නෙමි.
6 මා ඇවිත් ශාපයකින් දේශයට පහර නොදෙන පිණිස, ඔහු පියවරුන්ගේ සිත් දරුවන් වෙතටත් දරුවන්ගේ සිත් පියවරුන් වෙතටත් හරවන්නේය.