1 සාමුවෙල්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31


-Reset+

පරිච්ඡේදය 31

1 පිලිස්තිවරු වනාහි ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කළෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගොස්, ගිල්බෝවා කන්දේදී මැරුම්කා වැටුණෝය.
2 පිලිස්තිවරු සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද පස්සේ එළවාගන ගොස් සාවුල්ගේ පුත්‍රයන්වූ යොනාතාන්ද අබිනාදාබ්ද මල්කී-ෂුවාද මැරුවෝය.
3 සටන සාවුල්ට විරුද්ධව බලවත් විය, දුනුවායෝ ඔහුට ළංවූහ; ඔහු දුනුවායන් නිසා තද අමාරුවට පත්විය.
4 එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: අර අචර්මඡේදිතයන් ඇවිත් මට ඇන අවනම්බු නොකරන පිණිස ඔබේ කඩුව ඇද මට අනින්නැයි කීය. නුමුත් ඔහුගේ ආයුධ ගෙනයන්නා එසේ කරන්ට කැමතිවුණේ නැත; මක්නිසාද ඔහු ඉතා භයව සිටියේය. එවිට සාවුල් තමාගේ කඩුව රැගෙන එය පිට වැටුණේය.
5 සාවුල් මැරුණු බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දුටු විට ඔහුද තමාගේ කඩුව පිට වැටී ඔහු සමඟ මළේය.
6 මෙසේ සාවුල්ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාද ඔහුගේ ආයුධ ගෙනයන්නාද ඔහුගේ සියලු මිනිස්සුද ඒ දවසේදී එකවිටම මැරුණෝය.
7 ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් පලා ගිය බවත් සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද මැරුණ බවත් මිටියාවතට මෙහායින්ද යොර්දානෙන් මෙගොඩද සිටි ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දැක නුවරවල් අත්හැර පලාගියෝය; පිලිස්තිවරු ඇවිත් එහි වාසයකළෝය.
8 තවද පසුවදා මැරුම්කෑ අයගෙන් කොල්ලය ගන්ට පිලිස්තිවරුන් ආ කල සාවුල්ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාද ගිල්බෝවා කන්දේ වැටී ඉන්නවා ඔවුන්ට සම්බවුණේය.
9 ඔව්හු ඔහුගේ හිස කපා දමා, ඔහුගේ ආයුධ ගළවා, එපවත් තමුන්ගේ දේවාලයෙහිත් සෙනඟ අතරෙහිත් ප්‍රකාශකරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි හැරියෝය.
10 ඔහුගේ ආයුධ ඔව්හු අෂ්ටාරොත්ගේ ගෘහයේ තැබුවෝය. ඔහුගේ ශරීරය බෙත්-ෂාන්හි පවුරට සවිකර එල්ලා තැබුවෝය.
11 පිලිස්තිවරුන් සාවුල්ට කළ දේ ගැන යාබෙෂ්-ගිලියද් වැසියන් ඇසූ කල,
12 සියලු වික්‍රමාන්විත මනුෂ්‍යයෝ නැගිට, මුළු රාත්‍රියේ ගොස්, බෙත්-ෂාන්හි පවුරෙන් සාවුල්ගේ මළකඳද ඔහුගේ පුත්‍රයන්ගේ මළකඳන්ද රැගෙන යාබෙෂ්ට ඇවිත්,
13 එහිදී ඒවා දවා, ඔවුන්ගේ ඇට රැගෙන යාබෙෂ්හි ඒෂෙල් ගසයට වළලා, සත් දවසක් නිරාහාරව සිටියෝය.