එසකියෙල්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48


-Reset+

පරිච්ඡේදය 16

1 නැවතත් ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2 මනුෂ්‍ය පුත්‍රය, යෙරුසලමට ඇගේ පිළිකුල්කම් දන්වමින්,
3 මෙසේ කියන්න- ස්වාමිවූ දෙවියන්වහන්සේ යෙරුසලමට මෙසේ කියනසේක: නුඹේ පිළිසිදීම සහ නුඹේ ඉපදීමද කානානිවරුන්ගේ දේශයේදී සිද්ධවිය; නුඹේ පියා අමෝරියයාය, නුඹේ මවු හිත්තිය ස්ත්‍රියෙක්ය.
4 නුඹ උපන් දවසේදී, නුඹ උපන් කල නුඹේ පෙකනිවැළ කැපුවේවත් පිරිසිදුකිරීමට නුඹ වතුරෙන් නෑවුවේවත් නුඹට ලුණු කොහෙත්ම ගෑවේවත් රෙදි එතුවේවත් නැත.
5 නුඹට අනුකම්පාකොට මේවායින් එකක්වත් නුඹට කරන ලෙස කිසි ඇසක් නුඹට දයා නොවීය; නුඹ උපන් දවසේදී නුඹේ ප්‍රාණය පිළිකුල් එකක් ලෙස සලකා නුඹ කෙතේ දමනු ලැබුවෙහිය.
6 මම නුඹ ළඟින් යන විට නුඹ ලේවල වැතිර ඉන්නවා දැක: නුඹ නුඹේ ලේවල වැතිර ඉන්දදී ජීවත්වෙයන්නැයි නුඹට කීවෙමි; එසේය, ජීවත්වෙයන්නැයි නුඹේ ලේවල වැතිර ඉන්දැද්දී නුඹට කීවෙමි.
7 කෙතේ දළුව මෙන් නුඹ රාශි ගණන් වැඩිකෙළෙමි, නුඹ වැඩ මහත්වී, ඉතා ලක්ෂණ ස්වභාවකට පැමිණියෙහිය; නුඹේ පියයුරු සෑදුණේය, නුඹේ ඉසකේද වැඩුණේය; නුමුත් නුඹ නිර්වස්ත්‍රව නග්නව සිටියෙහිය.
8 මම නුඹ ළඟින් ගොස් බැලූ කල, නුඹේ කාලය වන ප්‍රේමයේ කාලය පැමිණී තිබෙන බව දැක, මාගේ වස්ත්‍රය නුඹ පිට අතුරා, නුඹේ නිර්වස්ත්‍රකම වසා, නුඹට දිවුරුම්දී, නුඹ සමඟ ගිවිසුමක් කරගත්තෙමි, නුඹද මට අයිතිවූයෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
9 තවද මම නුඹ වතුරෙන් නාවා, නුඹෙන් හොඳාකාරයෙන් ලේ සෝදා හැර, තෙලින් ආලේපකෙළෙමි.
10 විසිතුරු වස්ත්‍ර මම නුඹට හඳවා, තහෂ් හම්වලින්වූ වහන් නුඹට දමා, සිහින් හණ රෙදි පිළියෙන් කටිය බැඳ, පටරෙදිවලින් නුඹ වැසුවෙමි.
11 මම ආභරණවලින් නුඹ සරසමින්, නුඹේ අත්වල වළලුද නුඹේ බෙල්ලේ මාලයක්ද දැමුවෙමි.
12 නුඹේ නාසයේ ආභරණයක්ද නුඹේ කන්වල කුණ්ඩලාභරණද නුඹේ හිසේ අලංකාර ඔටුන්නක්ද තැබුවෙමි.
13 මෙසේ නුඹ රන් රිදීවලින් සැරසී සිටියෙහිය; නුඹේ වස්ත්‍රද සිහින් හණ රෙදිත් පට සහ විසිතුරු රෙදිත්ය; නුඹ සිහින් පිටිද මීපැණිද තෙල්ද කෑවෙහිය. නුඹ අතිශයින්ම ලක්ෂණවී, රාජ්‍යයක් වෙන හැටියට වර්ධනයවූවෙහිය.
14 නුඹේ ශෝභනකම නිසා නුඹේ කීර්තිය ජාතීන් අතරේ පැතිරගියේය; මක්නිසාද මා විසින් නුඹ කෙරෙහි තැබූ මාගේ තේජස නිසා ඒක සම්පූර්ණව තිබුණේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක
15 නුමුත් නුඹේ ශෝභනකම කෙරේ නුඹ විශ්වාසකොට, නුඹේ කීර්තිය නිසා වේශ්‍යාකම්කරමින්, ළඟින් යන එකිනෙකාටම නුඹේ වේශ්‍යාකම් වැගිරෙවුවෙහිය; එය ඔහුට වුණේය.
16 නුඹේ වස්ත්‍රවලින් සමහරක් නුඹ රැගෙන, විසිතුරු වර්ණවත් උස් තැන් සාදාගෙන, පළමු සිදුවුණේවත් මතු සිදුවන්නේවත් නැති ආකාරයකට ඒවා උඩ වේශ්‍යාකම්කෙළෙහිය.
17 මා නුඹට දුන්නාවූ මාගේ රන් රිදීවලින් සෑදූ නුඹේ ලක්ෂණ ආභරණ රැගෙන පුරුෂයන්ගේ රූප සාදාගෙන, ඒවා සමඟ වේශ්‍යාකම්කෙළෙහිය;
18 නුඹේ විසිතුරු වස්ත්‍රවලින් නුඹ ඒවා වසා, මාගේ තෙල්ද මාගේ සුගන්ධ ද්‍රව්‍යයද ඒවා ඉදිරියෙහි තැබුවෙහිය.
19 කන්ට මා විසින් නුඹට දුන්නාවූ මාගේ කෑම වන සිහින් පිටිද තෙල්ද මීපැණිද නුඹ මිහිරි සුවඳ පිණිස ඒවා ඉදිරියෙහි තැබුවෙහිය, මෙසේ වුණායයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
20 තවද මා නිසා නුඹ වැදූ නුඹේ පුත්‍රයන්ද නුඹේ දූවරුන්ද නුඹ රැගෙන විනාශවීමට ඔවුන් ඒවාට පූජාකෙළෙහිය.
21 නුඹ මාගේ දරුවන් ගින්නට කැපකොට ඔවුන් ඒවාට මරාදුන්නේ නුඹේ වේශ්‍යාකම් සුළු කාරණයක්වූ නිසාද?
22 නුඹේ සියලු පිළිකුල්කම්වලදීද වේශ්‍යාකම්වලදීද නුඹ නිර්වස්ත්‍රව, නග්නව, නුඹේ ලේවල වැතිර උන්නාවූ නුඹේ බාල කාලය නුඹ සිහි නොකෙළෙහිය.
23 තවද නුඹට දුක්වේ! දුක්වේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. මක්නිසාද නුඹේ සියලු දුෂ්ටකම්වලට පසු,
24 නුඹ සියලු වීථිවල [වේශ්‍යා] මහලක් තනාගෙන උස්තැනක්ද සාදාගත්තෙහිය.
25 නුඹ සියලු මංසන්ධිවල නුඹේ උස්තැන් ගොඩනඟා, නුඹේ ශෝභනකම පිළිකුල්කමට පමුණුවා, ළඟින් යන සියල්ලන්ට නුඹේ කකුල් විදහා, නුඹේ වේශ්‍යාකම් වැඩිකරගත්තෙහිය.
26 තවද ශරීරයෙන් තරව සිටින නුඹේ අසල්වාසීන් වන මිසරයන් සමඟ නුඹ වේශ්‍යාකම්කොට, මා කෝපකරවන ලෙස නුඹේ වේශ්‍යාකම් වැඩිකරගත්තෙහිය.
27 එබැවින් මම මාගේ අත නුඹට විරුද්ධව දිඟුකොට, නුඹේ කෑම කොටස අඩුකර, නුඹට වෛරවෙන්නන්වූ නුඹේ සල්ලාල මාර්ගය ගැන ලජ්ජාවෙන් සිටින පිලිස්තිවරුන්ගේ දූවරුන්ගේ කැමැත්තට නුඹ භාරදුනිමි.
28 නුඹේ ආශාව සංසිඳිමක් නොවූ නිසා, නුඹ අෂූරියයන් සමඟද වේශ්‍යාකම්කෙළෙහිය; නුඹ ඔවුන් සමඟ වේශ්‍යාකම්කළ නුමුත් සෑහීමට නොපැමිණියෙහිය.
29 නුඹ කානාන් දේශයේදී කල්දියාව දක්වාත් නුඹේ වේශ්‍යාකම් වැඩිකරගත්තෙහිය; එහෙත් එයිනුත් සෑහීමට නොපැමිණියෙහිය.
30 නොහික්මෙන වේශ්‍යා ස්ත්‍රියෙකුගේ ක්‍රියා වන මේ සියල්ල කරන්නාවූ නුඹේ සිත කොපමණ දුර්වලව තිබෙනවා නොවේදැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
31 එසේය, නුඹේ සියලු මාර්ග කොන්වල නුඹේ (වේශ්‍යා) මහල ගොඩනගා, සියලු වීථිවල නුඹේ උස්තැනක් සාදාගත්තෙහිය; පණයම් එපාකරන හෙයින් වේශ්‍යාවට නුඹ සමාන නූමණෙහිය.
32 කාමමිථ්‍යාචාරය කරන භාර්යාවක්ය! තමාගේ පුරුෂයා වෙනුවට අන්‍යයන් ගන්න ස්ත්‍රියෙක්ය!
33 සියලු වේශ්‍යාවන්ට යම් තෑග්ගක් දෙනු ලැබේ. නුමුත් නුඹ නුඹේ සියලු ප්‍රේමවන්තයන්ට නුඹේ තෑගිදී, නුඹ සමඟ වේශ්‍යාකම්කිරීමට හැම අතින්ම නුඹ ළඟට එන්ට ඔවුන්ට තෑගි දුන්නෙහිය.
34 නුඹේ වේශ්‍යාකම්වලදී නුඹේ අන්දම අන් ස්ත්‍රීන්ට වෙනස්ය, මක්නිසාද වේශ්‍යාකමට කිසිවෙක් නුඹ පස්සේ එන්නේ නැත. නුඹ පණයම් දෙනවා මිස නුඹට පණයම් දෙන්නේ නැත, මෙසේ නුඹ වෙනස්ය.
35 එබැවින් වේශ්‍යාවිය, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.
36 ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ ප්‍රේමවන්තයන් සමඟද නුඹේ සියලු පිළිකුල්වල රූප සමඟද නුඹ කළ වේශ්‍යාකම්වලිනුත් නුඹ ඒවාට දුන් නුඹේ දරුවන්ගේ ලේවලිනුත් නුඹේ මුදල් වියදම්වී නුඹේ නග්නභාවය පෙනුණු බැවින්,
37 නුඹ කෙරෙහි ආලයවුණ නුඹේ සියලු ප්‍රේමවන්තයන්ද නුඹ ප්‍රේමවුණ සියල්ලන්ද නුඹ වෛරකළ සියල්ලන්ද රැස්කරමි; මම ඔවුන් නුඹට විරුද්ධව වටේට රැස්කොට, ඔවුන් නුඹේ මුළු නිර්වස්ත්‍රකම දකින පිණිස නුඹේ නිර්වස්ත්‍රකම ඔවුන්ට ප්‍රකාශකරන්නෙමි.
38 පතීවතාව කඩකරන්නාවූ ලේ වගුරුවන්නාවූ තැනැත්තියන් විනිශ්චයකරන්නාක්මෙන් මම නුඹ විනිශ්චය කොට, උදහස හා ජ්වලිත ලේ නුඹ පිටට පමුණුවන්නෙමි.
39 තවද මම නුඹ ඔවුන් අතට දෙන්නෙමි, ඔවුන් නුඹේ [වේශ්‍යා] මහල කඩාදමා, නුඹේ උස්තැන් හෙළාදමා, නුඹේ වස්ත්‍ර ලිහාදමා, නුඹේ අලංකාර ආභරණ රැගෙන නුඹ නිර්වස්ත්‍ර කොට නග්නකරනවා ඇත.
40 ඔවුන් නුඹට විරුද්ධව සමුදාවක් පමුණුවා, නුඹට ගල්ගසා, තමුන්ගේ කඩුවලින් නුඹට අනිනවා ඇත.
41 ඔවුන් නුඹේ ගෙවල් ගිනිලා, බොහෝ ස්ත්‍රීන් ඉදිරියෙදී විනිශ්චයන් නුඹ කෙරෙහි ඉෂ්ටකරනවා ඇත; වේශ්‍යාකම්කිරීමෙන්ද නුඹ නවත්වන්නෙමි, පණයම්ද නුඹ තවත් නොදෙන්නෙහිය.
42 මෙසේ මාගේ උදහස නුඹ කෙරෙන් නවත්වා, පසුව මාගේ ජ්වලිතය නුඹෙන් පහකොට, නිශ්චලව තවත් උදහස් නොවී සිටින්නෙමි.
43 නුඹේ බාල කාලය නුඹ සිහිනැතිකොට, ඒ සියල්ලෙන් මා උදහස්කළ බැවින්, බලව, මමත් නුඹේ මාර්ගය නුඹේ හිස පිටට පමුණුවන්නෙමි. නුඹද නුඹේ සියලු පිළිකුල්කම්වලට වඩා නරකවූ මේ දූෂ්‍යකම නොකරන්නෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
44 උපමා කියන සියල්ලෝ: මවු යම්සේද දුවත් එසේමය යන උපමාව නුඹ ගැන කියනවා ඇත.
45 නුඹ නම් පුරුෂයාටත් දරුවන්ටත් පිළිකුල්කරන මවගේ දුවය; නුඹ තමුන්ගේ පුරුෂයන්ටද දරුවන්ටද පිළිකුල්කළ නුඹේ සහෝදරියන්ගේ සහෝදරීය. නුඹලාගේ මවු හිත්තිය ස්ත්‍රියෙක්ය, නුඹලාගේ පියා අමෝරියයෙක්ය.
46 නුඹේ වැඩිමල් සහෝදරී නුඹට වමින් වාසයකරන සමාරිය සහ ඇගේ දූවරුය. නුඹේ බාල සහෝදරී නුඹට දකුණෙන් වාසයකරන සොදොම සහ ඇගේ දූවරුය.
47 නුමුත් නුඹ ඔවුන්ගේ මාර්ගවලම නොගොස්, ඔවුන්ගේ පිළිකුල්වල ප්‍රකාරයටම නොකර, ඒවා මදියයි සිතා, ඔවුන්ටත් වඩා නුඹේ සියලු මාර්ගවලින් නුඹ දුෂ්ටකම්කෙළෙහිය.
48 මා ජීවමාන බව සැබෑවා සේම නුඹ සහ නුඹේ දූවරුන් කළ ලෙස නුඹේ සහෝදරීවූ සොදොම සහ ඇගේ දූවරුන් කළේම නැතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
49 මෙන්න, නුඹේ සහෝදරීවූ සොදොමේ වරද මෙසේය; උඩඟුකමත් කෑම පූර්ණකමත් නොසැලකිලි නිශ්චලකමත් ඈට සහ ඇගේ දූවරුන්ටත් තිබුණේය; ඈ අසරණයාගේද දිළින්දාගේද අත බලවත් නොකළාය.
50 ඔවුන් උඩඟුව සිට මා ඉදිරියෙහි පිළිකුල්කම් කළ බැවින්, මට හොඳව පෙනුණු ලෙස ඔවුන් පහකෙළෙමි.
51 සමාරිය නුඹේ පව්වලින් අර්ධයක්වත් නොකළාය; නුඹ ඔවුන්ට වඩා නුඹේ පිළිකුල් ක්‍රියා වැඩිකර, නුඹ කළ නුඹේ සියලු පිළිකුල් ක්‍රියාවලින් නුඹේ සහෝදරියන් ධර්මිෂ්ඨව පෙනෙන්ට සැලැස්සුවෙහිය.
52 නුඹේ සහෝදරියන් විනිශ්චයකළ නුඹ නුඹේ ලජ්ජාව දරාගන්න; ඔවුන්ට වඩා පිළිකුල් ලෙස නුඹ කළාවූ නුඹේ පාප නිසා ඔව්හු නුඹට වඩා ධර්මිෂ්ඨය. මෙසේ නුඹ නුඹේ සහෝදරියන් ධර්මිෂ්ඨව පෙනෙන්ට සැලැස්සූ බැවින් නුඹත් ලජ්ජාවට පැමිණ නුඹේ නින්දාව දරාගන්න.
53 ඔවුන්ගේ වහල්කම එනම් සොදොම සහ ඇගේ දූවරුන්ගේ වහල්කමද සමාරිය සහ ඇගේ දූවරුන්ගේ වහල්කමද ඔවුන් අතරේ නුඹේ වාල්වූ අයගේ වහල්කමද පහකරන්නෙමි.
54 මෙසේ කරන්නේ ඔවුන් නුඹෙන් සැනසෙන හැටියට නුඹ කළ සියල්ල නිසා, නුඹේ ලජ්ජාව නුඹ දරා, නින්දාවට පැමිණෙන පිණිසය.
55 නුඹේ සහෝදරියන් වන සොදොම සහ ඇගේ දූවරුන්ද තමුන්ගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත, සමාරිය සහ ඇගේ දූවරුන්ද තමුන්ගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත, නුඹ සහ නුඹේ දූවරුන්ද නුඹලාගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත.
56 සිරියේ දූවරුන්ද ඈ වටකර සිටි සියල්ලන් එනම් නුඹව සුළුකරන පිලිස්තිවරුන්ගේ දූවරුන්ද හැම අතින්ම නුඹට නින්දාකළ කාලයේදී මෙන්, නුඹේ දුෂ්ටකම එළිදරව්වෙන්ට පළමුවෙන්,
57 නුඹේ උඩඟුකමේ දවසේදී නුඹේ සහෝදරීවූ සොදොම නුඹේ මුඛයෙන් සඳහන්කළේවත් නැත.
58 නුඹේ සල්ලාලකමද නුඹේ පිළිකුල්කම්ද නුඹම දැරුවෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක.
59 මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ගිවිසුම කඩකරන ලෙස දිවුරුම සුළුකළාවූ නුඹ කළ හැටියටම මම නුඹට කරන්නෙමි.
60 එහෙත් මා විසින් නුඹේ බාල කාලයේදී නුඹ සමඟ කළාවූ මාගේ ගිවිසුම සිහිකොට, සදාකාල ගිවිසුමක් නුඹ සමඟ පිහිටුවන්නෙමි.
61 නුඹේ වැඩිමහල්වූද බාලවූද සහෝදරියන් නුඹ විසින් පිළිගන්න විට නුඹ නුඹේ මාර්ග සිහිකොට ලජ්ජාවන්නෙහිය. ඔවුන් දූවරුන් කොට නුඹට දෙන්නෙමි, නුමුත් එය නුඹේ ගිවිසුමකින් නොවේය.
62 නුඹ කළ සියල්ල ගැන මා විසින් නුඹට කමාවෙන විට නුඹ සිහිකොට, වියවුල්ව, ලජ්ජාවෙන් තවත් කට නෑර සිටින පිණිසය,
63 මාගේ ගිවිසුම නුඹ සමඟ පිහිටුවන්නෙමි; එවිට මා ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.